මඤ්ඤොක්කා කොරටුවක් ඌරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට විදුලිය ඇද තිබුණු කම්බියක ගැටී තරුණයකු පෙරේදා (16) රාත්‍රි මියගොස් ඇතැයි පිංදෙණිය පොලිසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ අටාල කිරිදන පදිංචිව සිටි 31 හැවිරිදි විතාරමලාගේ ප්‍රභාත් චමින්ද නමැති අවිවාහක තරුණයෙකි.
මියගොස් ඇති තරුණයා පස් දෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා බවත් පියා මිලදීගෙන දුන් ත්‍රිරෝද රථයක සේවය කරමින් මවුපියන් සමඟ පදිංචිව සිට ඇති බවත් පොලිසිය පැවසීය. මියගොස් ඇති තරුණයා පෙරේදා 16 වැනිදා සවස 7ට පමණ කුරුණෑගල වැල්ලව සිට පැමිණ සිටි ඥාතියෙක් සමඟ “පහළට ගිහිල්ලා එන්නම්” යැයි නිවැසියන්ට පවසා ගොස් ඇති අතර, නිවසේ සිට මීටර් 300ක් පමණ ඈතින් පිහිටි පුරන් කුඹුරක මඤ්ඤොක්කා වගා කර තිබුණු කොරටුවක් මැදින් ගුරුගොඩ ඔය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වෙයි. අදාළ ඉඩමේ හිමිකරු විදුලි රැහැනකින් විදුලිය ඇද තිබී ඇති බවත් තරුණයා එම විදුලි කම්බියක ගැටී විදුලි සැර වැදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි. විදුලි සැර වැදුණු තරුණයා රෝහල්ගත කරන විටත් මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ ඉඩමට විදුලි කම්බි දැමූ දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ මහත්මිය වෙත ඊයේ 17 ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට නියෝග නිකුත් කර ඇත. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ පිංදෙණිය පොලිස් වසමේ කිරිදන අටාල ලිපිනයේ පදිංචිව සිටින සෝමරත්න හා කඩිගමුව පිටගල්දෙණියේ පදිංචිව සිටින පියරත්න නමැත්තන්ය. පිංදෙණිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත ප්‍රියදර්ශන දිසානායක මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක සුනිල් ජයලත් පතිරණ, උප පොලිස් පරීක්ෂක රණවීර, පොලිස් සැරයන් කපුආරච්චි (37372) සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළහ.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්, සබරගමුව සමූහ – ගාමිණී රම්‍යපාල