තබ්බෝව අභය භුමියට අයත් රාල්මඩුව ප්‍රදේශයෙ නීති විරෝධි වැලි කැණීම් කළ සැකකරුවන් පිරිසක් හා ට්‍රැක්ටරය වනජීවි නිලධාරීන් අත්අඩංගුවට ගෙන රැගෙන එමින් සිටියදී ජාවාරම්කරුවන් හා කාන්තාවන් පිරිසක් එම ස්ථානයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරී ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි.
එලෙස කලහකාරී ලෙස හැසිරුණු පිරිස වනජීවී නිලධාරින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ට්‍රැක්ටරය ද රැගෙන ගොස් ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
වනාතවිල්ලුව හා එළුවන්කුලම වනජීවි නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත 16 දින රාත්‍රියේ තබ්බෝව අභය භුමියට අයත් රාල්මඩුව ප්‍රදේශයේ කරමින් තිබූ වැලි ජාවාරමක් වැටලීමට ගිය වනජීවි නිලධාරීන්ට මෙම සිදුවීමට මුහුණ දී ඇති බව පොලිසිය කියයි.
වනජීවි නිලධාරීන් පවසන්නේ තබ්බෝව අභය භුමිය තුළ කළ වැටලීමකදී වැලි කැණීම් කර ප්‍රවාහනය කරමින් සිටි ට්‍රැක්ටරයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවයි.
එම සැකකරු හා ට්‍රැක්ටරය රැගෙන වනජීවි කාර්යාලයට රැගෙන එමින් සිටියදී එකවර එම ස්ථානයට කඩා වැදුන කණ්ඩායමක් වනජීවි නිලධාරීන් ඉදිරියේදීම ට්‍රැක්ටරයේ වැලි ටිපර් කර බිමට දමා එය රැගෙන ගොස් ඇති බවත් ඒ සමඟම එම ස්ථානයට කඩා වැදුන කාන්තාවන් පිරිසක් ට්‍රැක්ටරයේ රියැදුරු වූ සැකකරුව රැගෙන පලා ගොස් ඇති බවත් පොලිසිය කියයි.
එම ස්ථානයේ රාජකාරි සඳහා එක්වූ වනජීවි නිලධාරීන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වනජීවී නිලධාරින් දැඩි අසීරුතාවට පත්ව තිබේ.
එම සිදුවීමෙන් පසු පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා මේ කරුවලගස්වැව, වනාතවිල්ලුව හා එළුවන්කුලම වනජීවි කාර්යාලවල නිලධාරින් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සමඟ එක්ව වනජීවී නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කරමින් හැසිරුණු පිරිස් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ඒ සමඟ තබ්බෝව අභය භුමියේ අලි වැට පවා ඉවත් කරමින් නීති විරෝධීව වැලි කැණීම් කර ඇති බවත් ඒවා ස්ථාන කිහිපයක ගොඩගසා ඇති බවත් මෙම වැලි කැණීම් සඳහා ජේසීබී යන්ත්‍රයක් පවා උපයෝගී කර ගනිමින් තිබී ඇති බවත් පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
පුත්තලම අතිරේක
හිරාන් ප්‍රියංකර ජයසිංහ