තමාගේ අනාතගය තහවුරු කිරීමට නොව රටේ අනාගතය තහවුරු කිරීමට බලය දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කන්තලේ, අම්පාර, බදුල්ල සහ වැල්ලවාය යන ප්‍රදේශවල පෙරේදා (16) පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රචාරක ජන රැලි අමතමිනි.
බදුල්ල රැලියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම් මහතා නායකත්වය දරන ලංකා කම්කරු පෙරමුණ, සමගි ජන බලවේගය පක්ෂයේ අඹගමුව, වලපනේ සහ නුවරඑළිය ප්‍රාදේශීය සභා නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සහ වෘත්තීය සමිති නායකයන් පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
“වත්මන් රජයේ වැඩපිළිවෙළ හොඳින්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත්තේ මා ප්‍රමුඛ රජයකටයි. ඔබ හැම දෙනාම හුනුවටයේ කතාව දන්නවා. තාම අපි ඉන්නේ වැල් පාලමේ. තව ටිකක් යන්න තියෙනවා. පාලම හෙලවෙනවා. එම ගමන ස්ථිර කිරීමට අප ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත්වී සිටිනවා.
වැල් පාලමෙන් එගොඩට එන විට හුනුවටයේ කතාවේ නොව වෙන නතාලියාලා දෙන්නෙක් ළමයා ගන්න ඉන්නවා. ඔවුන් දෙන්නාම පැන ගිය නතාලියාලා. ඒ අයට කිසිම අදහසක් නෑ. හිතුමතේ බදු අඩු කරන බව කියනවා. මමත් බදු අඩු කරන්න කැමතියි. නමුත් අයි.එම්.එෆ්. ගිවිසුම් අනුව එහෙම කරන්න හැකියාවක් නෑ.
රුපියල ශක්තිමත් කරන්නට තිබෙනවා. හිතුමතේ වැඩ කරන්න මේ කිසිවකුටත් අයි.එම්.එෆ්. එකෙන් බලය ලැබෙන්නේ නෑ. ඉතින් මේ අය ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන්ද? ඔවුන් අර්බුද හමුවේ පැන ගිහින් අදහසක් නැතුව හිටියේ. නව ආණ්ඩුවට අයි.එම්.එෆ්. සංවිධානයෙන් කොන්දේසි තුනක් පනවා තිබෙනවා.
පවතින රජය ගෙන යන වැඩසටහනේ අරමුණු ආරක්ෂා කිරීම, එමෙන්ම ඒ වැඩ කටයුතු සාක්ෂාත් කරගැනීම, ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකිරීම යන කොන්දේසි අයි.එම්.එෆ්. සංවිධානය විසින් පනවා තිබෙනවා. ඉතින් නතාලියාලට මේ කොන්දේසි ඉටු කරන්න පුළුවන්ද?
මූල්‍ය අරමුදල කියන්නේ අපේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන ලෙසයි. මේ ස්ථාවර බව ඇතිකොට රට ඉදිරියට ගෙන යෑමට මා මේ ජනවරම ඉල්ලනවා. ඒ මගේ අනාගතය තහවුරු කරගැනීමට නොව ඔබේ අනාගතය තහවුරු කරගැනීමටයි.
අපි දිනනවා! අපි දිනනවා! අපි දිනනවා! මේ මහා ජනකාය දෙස බැලූ විට අපේ ජයග්‍රහණය ස්ථීර බව අමුතුවෙන් කිව යුතු නෑ. මේ සතියේ ඔබේ ජීවිතයේ වැදගත්ම මැතිවරණයකට ඔබ මුහුණ දෙනවා. එයින් තීන්දු වන්නේ අපි සමෘද්ධිමත්, ස්ථාවර හොඳ ජීවිතයක් ගත කරනවාද? නැත්නම් නැවතත් පෝලිම් යුගයකට යනවාද? යන්නයි. නැවත පෝලිම් යුගයකට රට ගෙන යෑමේ වැරැද්ද සිදු කරන්න එපා කියා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් පසුගිය වසර දෙකේ අප ගෙන ගිය වැඩපිළිවෙළ තහවුරු කිරීමට මට ඡන්දය දෙන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එදා අනෙක් නායකයන් බෑ කියද්දී මම ආණ්ඩුව භාර ගත්තා. මේ රටේ ජනතාව ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් නැතිව දුක් විඳින විට සජිත්ගේවත්, අනුරගේවත් හදවත කම්පා වුණේ නෑ. ජනතාව ඖෂධ නැතිව මිය යද්දී ඔවුන් දුක් වුණේ නෑ. ඔවුන්ට අවශ්‍ය වුණේ ජනතාව බිල්ලටදී ඔවුන්ගේ අරමුණු ඉටු කරගැනීමටයි.
නමුත් මම මේ රට භාර ගත්තා. ජනතාව ගැන සිතූ සියලු දෙනා මා සමඟ එක් වුණා. අප සියලු දෙනා එක්ව වසර දෙකක් වැනි කෙටි කාලයකදී රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ආවා. රටේ ආර්ථිකය ගොඩනැඟීමේදී මට බදු ඉහළ දැමීම වැනි අසීරු තීරණ ගැනීමට සිදු වුණා. නමුත් අප දැන් ක්‍රමානුකූලව ජනතාවට සහන සලසමින් ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට කටයුතු කර තිබෙනවා. 2025දී ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කිරීමට කටයුතු කරන බව මම ප්‍රකාශ කරනවා.
රටක ආර්ථිකයක් කඩා වැටුණු විට එම ආර්ථිකය ගොඩනැඟීමට වසර පහක් පමණ ගත වෙනවා. නමුත් වසර දෙකක් වැනි කෙටි කාලයකදී ඉතා වේගයෙන් රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට කටයුතු කළ රට බවට ශ්‍රී ලංකාව මේ වන විටත් පත්ව තිබෙනවා. රට ගොඩනඟන වැඩපිළිවෙළ ආරම්භ කර තුන්වන වසර වන විට එම වෙනස සියලු දෙනාට දැක ගත හැකියි.
තවම අප සිටින්නේ වැල් පාලමේ. අප තව ටිකක් දුර යා යුතුයි. වැල් පාලම හෙලවෙනවා. නමුත් අප මෙවර ජනාධිපතිවරණයේදී මේ ගමන ස්ථීර කර ගත යුතුයි. මේ වේදිකාවේ සිටින අප එදා දේශපාලන වශයෙන් විවේචන කර ගත්තා. නමුත් සියලු දෙනා බෑ කියපු අවස්ථාවේ අප එකට එක්ව රට වෙනස් කළා. අපි කිසිවෙක් දේශපාලනය දිහා බැලුවේ නෑ. අපට අවශ්‍ය වුණේ මේ රටේ ජනතාව ජීවත් කරවීමටයි. රටේ ජනතාව ආහාර, ඖෂධ, ඉන්ධන සහ ගෑස් නැතිව දුක් විඳින විට එදා සජිත් සහ අනුර ඒ දුක දැක්කේ නෑ. නමුත් අපට ජනතාවගේ දුක ඉවසාගත නොහැකි නිසා දේශපාලනය පසෙක දමා ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් එක් වුණා. අපි එකතු වෙලා මේ රටේ ආර්ථිකය ගොඩනැඟුවා.
ආර්ථිකය කඩා වැටුණු ලෝකයේ අනෙකුත් රටවල් දෙස බැලූ විට එම කිසිදු රටක් මෙවන් වේගයකින් සාමාන්‍ය තත්ත්වයට පත්ව නෑ. නමුත් අප එම වාර්තාව තබා තිබෙනවා. අපට දැන් තිබෙන්නේ 2022 පැවති තත්ත්වයට රට ගෙන යෑම නොවෙයි. රට දියුණු කිරීමයි.
පක්ෂ, පාට භේදයෙන් තොරව අප සියලු දෙනා එක්ව ගත් ආර්ථික ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමු. ඒ වෙනුවෙන් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න.”
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා
“බදුල්ල දිස්ත්‍රික්කය සංවර්ධනයේ උච්චතම ස්ථානයට ගෙන එනවා කියා සජිත් ප්‍රේමදාස කියනවා. බදුල්ල දිස්ත්‍රික්කය සජිත් ප්‍රේමදාසට කරන්න දෙයක් ඉතුරු කර නෑ. නිමල් සිරිපාල හැමදාම ඇමැති කියා අනුර දිසානායක කියනවා. මේ බදුල්ලෙන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමටත් කටයුතු කළේ මම. මා ඇමැතිකම් දැරූ සියලුම අමාත්‍යාංශවලින් බදුල්ලට කළ යුතු සෑම දෙයක්ම සිදු කර තිබෙනවා. අනුර කුමාර ඇමැතිවරයෙක් වෙලා සිටින කාලයේදී රටට තියා කුරුණෑගලටවත් වැඩක් කර නෑ. ඒ අය කටයුතු කළේ නපුංසක ඇමැතිවරුන් ලෙස. ඒ නිසා බදුල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් නොවෙයි මුළු රටෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා.”
රාජ්‍ය ඇමැති වඩිවෙල් සුරේෂ් මහතා
“සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව ජනාධිපතිවරයා වෙනුවෙන් පෙරට පැමිණ තිබෙනවා. මේ රටේ ආර්ථිකය ගොඩනැඟූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමින් වතු කම්කරු ජනතාවගේ ඡන්දය 100%ක් දීමට අප සූදානම් බව කිව යුතුයි.”
රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා
“බියගුලු විපක්ෂ කණ්ඩායම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සටන අත්හරින බවට අසත්‍ය ප්‍රකාශ කරමින් සිටිනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ජයග්‍රහණය කළ වෙලාවේ චාමර සම්පත් ඒ මහතා කරේ තියාගෙන ගියේ. ඒ විදිහටම මේ ජනාධිපතිවරණයේදීත් ඒ මහතා කරේ තියාගෙන ගිහින් දිනවන බව කියන්න කැමතියි.”
පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා
“අපේ රටට ඩොලර් අවශ්‍යයි. ජනාධිපතිවරයා හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර වැඩසටහන් සැලසුම් කර, සංචාරකයන් රටට ගෙන්වා ඩොලර් උපයන්න අවශ්‍ය උපදෙස් දුන්නා. එදා මේ රටේ විදෙස් සංචිත තිබුණේ ඩොලර් මිලියන 20යි. අද ඩොලර් බිලියන 6ක් තියෙනවා. මේ අවුරුදු දෙක ඇතුළත විශාල ප්‍රමාණයක් විදෙස් රැකියා සඳහා යොමු කළා. ඔවුන් අද විදේශගතව ඒ ප්‍රේෂණ මේ රටට එවනවා. අද අපේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යනවා. ආර්ථිකය ශක්තිමත් වෙනවා.”
නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා
“අපේ රටේ කොයි පළාතට ගියත් දිනන අපේක්ෂයා ලෙස කියැවෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නමයි. මේ දිස්ත්‍රික්කය ඇතුළු සියලු දිස්ත්‍රික්කවල වැඩිම මනාප රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බව ස්ථිරයි.”
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි, නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය
“අද ජනතාවට නිදහස්ව ස්වාධීනව හිතන්න පුළුවන් වාතාවරණයක් ඇතිවී තිබෙනවා. එම නිසා මෙතෙක් රට පසු කරගෙන පැමිණි යුග පිළිබඳව හොඳින් හිතා තමන්ගේ මනාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දිය හැකියි.”
හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා
“තව දින පහකින් ලක්ෂ හැටකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි. එදා ආර්ථික අර්බුදය අවස්ථාවේ සජිත් ප්‍රේමදාස රට භාර ගත්තේ නැත්තේ ජනතාවගේ අවශ්‍යතා දෙන්න ඔහුට බැරි නිසයි. එහෙම වුණා නම් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සජිත් ප්‍රේමදාසට ඉඩ ලැබෙන්නේ නෑ. එදා සජිත් කළේ තමන්ගේ අනාගතය වෙනුවෙන් ජනතාව දුකට පත්වී සිටීම බලාගෙන සිටීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වීම නිසා එතුමාට තිබූ එකම නිවෙසත් ගිනිබත් කළා. නමුත් ඒ මහතාගේ නිවෙසේ ගින්න නිවීමට වඩා ජනතාවගේ දුක්ගිනි නිවීමට ජනාධිපතිවරයා කැප වුණා.”
කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය
“.ආර්ථික අර්බුදය අවස්ථාවේ සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් ගිහින් මහ බැංකුවේ අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සමඟ පැය තුනක සාකච්ඡාවක් පවත්වනවා. ඊට පස්සේ ඒ ආර්ථික විශේෂඥයන් කියනවා, අපොයි අපොයි රට විනාශයි. මේක ගොඩගන්න අපට බෑ. මේක ගොඩගන්න මහා පරාක්‍රමයකුටවත් බෑ. ගොඩගන්න කෙනාට අපි සුබ පතනවා කියලා. එදා ඔවුන් රට ගොඩනඟන කටයුත්තට අත තිබ්බේ නෑ.
රතු සහෝදරයන්ගේ හරිනි අමරසූරිය එදා කිව්වේ අපි බලය ගත්තත් මේ අර්බුදයෙන් ගොඩ එන්න ක්ෂණික විසඳුම් නෑ කියලයි. රට ගොඩගන්න විශාල කාලයක් ගතවනු ඇති බවත්, ඒ කාලයේ ජනතාවට විශාල කැප කිරීම් කරන්න සිදු වන බවත් ඇය කිව්වා. මීටත් වඩා දුක් විඳින්න සුදානම් වන ලෙසත් හරිනි කිව්වා. අද ඇවිත් ඇය කාන්තාවන්ට කියනවා එක මිටට අනුරට රට දෙන්න කියලා. ඊට අමතරව නලීන් හේවගේ රතු සහෝදරයා කිව්වේ, අපොයි මේ පුස් කොහොම්බේ අපට ගන්න බෑ. මේකේ මදෙත් කාලා, ලොඳෙත් කාලා, පොත්තත් කාලා ගෙඩියත් නැති වෙලා කියලයි. එහෙම හැංගුණු නායකයන් තමයි දැන් ජනාධිපතිකම ඉල්ලන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා එදා අභියෝගය භාරගෙන පෝලිම් යුගය අවසන් කළා. ආර්ථිකය ස්ථාවර කළා. එදා උද්ධමනය 70%යි. අද උද්ධමනය 1.7%යි. ඒ ආකාරයට රට ගොඩනැඟූ නායකයා අප 21 වැනිදාට නැවත වතාවක් ජනාධිපති ධුරයට පත් කර ගත යුතුයි.”
මේ ජන රැලි අමතා රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, ගාමිණී විජිත් විජිතමුණි ද සොයිසා, ශ්‍රියානි විජේවික්‍රම යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල ජනකායක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජයසිරි මුණසිංහ, බදුල්ල – නිශාන්ත
ඡායාරූප – අසංක රංජිත්
අබේගුණවර්ධන, ආර්. රාජමන්ත්‍රී – වැලිමඩ සමූහ සහ කේ. ඒ. මෛත්‍රීපාල – දමන සමූහ