Home » නිශ්ශබ්ද කාලයේ සමාජ මාධ්‍යයේ සද්ද එපා

නිශ්ශබ්ද කාලයේ සමාජ මාධ්‍යයේ සද්ද එපා

by sachintha
September 18, 2024 1:00 am 0 comment

අද සිට විසි එක් වෙනිදා තෙක්, දින කිහිපයේ ප්‍රවෘත්ති සඳහා ප්‍රධාන දායකත්වය ලබා දෙන්නේ මැතිවරණ කොමිසම විසිනි. මේ කාලය සඳහා යුනිෆෝම්ගත වූ ප්‍රවෘත්ති කිහිපයක් ඇත්තේය. අද දහ අටවැනිදා බැවින් සෑම පුවත්පතක්ම සිය මුල් පිටුවේ ‘ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්’ යන සිරස්තලය යටතේ පුවතක් පළ කරන්නේය. මැතිවරණ දිනය දා උදෑසන එළියට එන පත්තරේ ‘උදෑසනින්ම ගොස් ඡන්දය පාවිච්චි කරන්න’ යන්න සහ ‘පළමු ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට පෙර’ යන පුවත් දෙක පළවන්නේය. මේවා චිරාත් කාලයක සිට පත්තර විසින් සමාජයට ලබා දුන් නිවුස්ය. එම මාර්ගයේ ගුවන්විදුලිය සහ රුපවාහිනිය ද යම් තාක් ගමන් කරන්නේය.

අද දහ අටවැනිදා බැවින් මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සියල්ල අද රෑ දොළහෙන් අවසන් විය යුතුය. ඉන් විනාඩියකට හෝ පසුව කිසිදු ප්‍රචාරක ක්‍රියාවක යෙදිය නොහැක්කේය. වන් ටූ වන් ආකාරයට ගෙවල් පැත්තේ කඩමණ්ඩියට ගොස් හෝ ඊට වඩා උපායමාර්ගික ආකාරයට සලකුණු ප්‍රදර්ශනය කරමින් ආදී, කිසිමාකාරයක ප්‍රචාරක ක්‍රියා, මේ කාලයේ නීති විරෝධිය. සමහරු කුඩාවට කපන ලද කඩදාසි හෝ කාඩ්බෝඩ් කැබලි හි සිය අපේක්ෂකයාගේ නම සහ ලකුණ සලකුණු කර ඒවා තොග වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන අසල සහ පාරවල් අයිනේ දමා යන්නේය. ඒ නම සහ ලකුණ යළි යළි සිහිපත් කිරීම සඳහාය. ඔය ආකාරයේ කොයි උපායක් වුවද දැන් ජනතාව අතර පරිභවය සඳහා ලක් වන්නේය. වෙනදාට මේ ආදී ලෙස මැතිවරණ නීති කැඩුවා යන්න, නෛතික ආකාරයෙන් විසඳන යමක් වුවත් දැන් ඒ සඳහා ජනතා විරෝධය එල්ල වන්නේ හෙයින්, ඒ ආකාරයට කටයුතු කරන පුද්ගලයා චොර වන්නේය.

අද මේ තීරුව ආරම්භ කළ ආකාරයට අන් සියලු කාලයන්හි සාම්ප්‍රදායික මාධ්‍ය, මැතිවරණ සඳහා ප්‍රධාන වූවේය. වෙනදා අවසන් ප්‍රචාරක දිනයෙන් පසු මහා පරිමාණයෙන් කිසිවෙකුටත් ගේම් ගැසීම අපහසු විය. සාම්ප්‍රදායික මාධ්‍ය නිරීක්ෂණය පහසුය. එසේම ඒවා වගකීමට බැඳී සිටින්නේ බැවින්, කොපමණ වැය බරක් දරා කරන්න කීව ද, අවනීතික කටයුතු සඳහා නැමෙන්නේ නැත.

මේ කාලයේ වැඩේ අරගෙන යන්නේ සමාජ මාධ්‍ය හෙයින් නිශ්ශබ්ද කාලයේ වැඩිපුරම සද්දය දමන්නේ ඒ මාර්ගයෙනි. තොරතුරු බෙදාහැරීමේ වේගය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය අවකාශය යන ද්විත්වය සමඟ ළඟා වීමේ පහසුව, සීමා මායිම් හෙවත් වාරණ රහිත යන දෙක එකතු වූ විට, සමාජ මාධ්‍ය යන්න ගේම් සඳහා මැ උපන්නක් බව කිව හැක්කේය. ඩේටා කාඩ් එකක් ගෙන රීලෝඩ් එකක් දමා ගත් විට එහි ෆේස් බුක්, ටික්ටෝක්, යූටියුබ් ආදිය අන්ලිමිටඩ් ෆ්‍රී ලැබෙන පැකේජ් තිබේ. ස්මාර්ට් දුරකතනයක් සමඟ මේ ආකාරයේ පැකේජයක් දමා ගත් අයෙක් වෙත, දවස තිස්සේම අන් සියලු වැඩ පැත්තක දමා බුකියේ සහ අනෙක් ඇප් හි ඉහළ පහළ යා හැක්කේය.

අපගේ අවධානය වන්නේ සමාජ මාධ්‍යයේ මේ අවුල ගැනය. ප්‍රචාරක වැඩ කටයුතු අදින් නිමිය, කියා නීතියේ පරිදි සඳහන් කළ ද මේවා සඳහා නීති නැත. එකෙක් කුමක් හෝ අවුලක් කොටාගෙන ගිය සැණින්, අනික් වුන් ද ඒ සඳහා ඇඳෙන්නේය. එවන් අවුල් සතර අතින් එනවිට සියලු මනස් වැසී යන්නේ බොරුවෙන්ය. දුශ් තොරතුරු සැපයීම පමණක් නොව ද්වේෂය සහ වෛරය ජනිත කිරීම ද මේ ආකාරයට කළ හැකිය. අරගලය අවස්ථාවේ ගෙවල් ගිනි තැබීම සඳහා කලාකරුවෝ යැයි නම් ලත් චරිත ක්‍රියා කළ ආකාරය මතක් කර ගන්න. මේ පැත්තට යන්න කියා සමහරෙක්, ඇඩ්‍රස් පවා නිවේදනය කළහ.

ෆේස්බුකිය සඳහා අදාළ වන්නේ ඇල්ගෝ රිදම් එකය. එය බලන්නා වෙත යළි යළි ලබාදෙන්නේ තමා බැලීමට රුචි ආකාරයේ දේය. එසේ නොමැතිව විවිධත්වය සිය පාත්‍ර වර්ගයා වෙත සමාජ මාධ්‍ය ලබාදෙන්නේ නැත. මෙය සපුරාම අවුලකි. බලන එකා සිතන්නේ, සියලු දෙනා තම අදහසේ බවය. අනික තමනට අවශ්‍ය වයස් කාණ්ඩය, ප්‍රදේශය ආදිය ඉලක්ක කර අදාළ පුවත් ප්‍රචාරය කිරීම සමාජ මාධ්‍යයෙන් කළ හැක්කේ බැවින් වැඩේ නැඟලාම යන්නේය.

මේ ආකාරයට අසත්‍ය ප්‍රචාර සිදු කරමින් සමාජ මාධ්‍ය මඟින් ජනයාගේ මනස් අවුල් කරන ලද ජනාධිපතිවරණ දෙකක් ගැන ලෝකය කතා වන්නේය. 2020 අ‍ෙමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් සහ බයිඩන් පාර්ශ්ව සමාජ මාධ්‍ය ප්‍රචණ්ඩ ලෙස භාවිත කළේය. 2019 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ද සමාජ මාධ්‍යයේ ව්‍යාජ තොරතුරු ගලා ගිය අවස්ථාවකි. මේ දෙකටම වඩා වෙනස් ආකාරයෙන් අසත්‍ය පුවත් පියාඹන ලද්දේ අරගලය අවස්ථාවේදීය. 2021 මියන්මාරයේ හමුදාව එරට බලය අල්ලා ගත්තේය. ඒ සඳහා සරණ වූයේ, සමාජ මාධ්‍ය මාර්ගයෙන් ගලා ගිය අසත්‍ය තොරතුරුය. බ්‍රසීලයේ 2022 ජනාධිපතිවරණයේ දී විශාල වශයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය විය. ඒ සඳහා භාවිත කරන ලද්දේ වට්ස් ඇප් සහ ටෙලිග්‍රෑම්ය.

මෙම උදාහරණ සිහිපත් කරමින් ඉදිරි දින කිහිපය සම්බන්ධයෙන් මේ රටේ මැතිවරණ කොමිසමෙන් සහ විදුලි සංදේශ බලඅධිකාරීන්ගෙන් මෙම තීරුව ඉල්ලීමක් කිරීමට කැමැතිය. මේ සමය වනාහි බලය සඳහා ඕනෑම ආකාරයක කටයුත්තක සමහරෙක් නියැළෙන කාලයය. අනික් අතින් කඩාකප්පල්කාරී මනස් ඇති රෝගීන් ද බහුලය. අද මැදියම් රැයේ සිට නිශ්ශබ්ද කාලය රැකිය යුත්තේ නම්, මැතිවරණය දා සහ පසුව මේ රටේ සාමය රැකිය යුත්තේ නම්, සමාජ මාධ්‍ය සඳහා ප්‍රබල පෙරහනක් යෙදිය යුත්තේය. එය පළමු ස්ථානයෙහිලා ක්‍රියා කිරීම අදාළ බලධාරීන් නොකරන්නේ නම්, ඒ සඳහා ක්‍රියා නොකිරීමට එරෙහිව අදාළ බලධාරීන් වරදකරුවෝ වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT