Home » යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි

by chanaka
September 18, 2024 4:13 pm 0 comment

ශ්‍රී ලංකා යුද හමුදාවේ 65 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා නිළ වශයෙන් සිය තනතුරේ රාජකාරී ආරම්භ කරයි.

යුද හමුදා මුලස්ථානයේදී අද(18) එම කටයුත්ත සිදුවිය.

මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා 1970 පෙබරවාරි මස 09 වන දින උපත ලබා කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලය වෙතින් අධ්‍යාපනය හදාරා 1989 ජනවාරි මස 20 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය පාඨමාලා අංක 31 යටතේ එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය හා ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මුලික පුහුණුව හදාරා 1990 ඔක්තෝබර් මස 05 දින 2 ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට එක්වුනි.

දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි දැනට යුද්ධ හමුදාවේ වසර 36 ක නිකැලැල් සේවා කාලයක් සපුරා ඇති අතර, සිය වෘත්තීය දිවිය තුල අණ, මාණ්ඩලික හා උපදේශක තනතුරු රැසක් හොබවා අද්දැකීම් සහ නිපුනත්වයෙන් හෙබි පරිපූර්ණ නිලධාරියෙකි. තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ නිරීක්‍ෂකයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ඉතියෝපියාවේ හා සූඩානයේ සේවය කර ඇත.

එල්ටීටීඊ සංවිධානයෙන් මාතෘ භුමිය මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා සිය සක්‍රිය දායකත්වය ලබාදී ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි සතුරන් අභිමුව දක්වා ඇති නිර්භීත භාවය හා එඩිතර භාවය මත රණ ශුර පදක්කමෙන් පිදුම් ලබා ඇත. මීට අමතරව විශිෂ්ඨ සේවා විභුෂණය, උත්තම සේවා පදක්කම, දේශ පුත්‍ර පදක්කම හා තවත් පදක්කම් රාශියකින්ද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා ඉන්දුනීසියානු ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර, නව තනතුරට පත්වීමට ප්‍රථම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වශයෙන් රාජකාරි කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT