Home » අරගලකරුවන්ගේ ගිනි තැබීමෙන් රට බේරාගත්තේ රනිල් වික්‍රමසිංහයි

අරගලකරුවන්ගේ ගිනි තැබීමෙන් රට බේරාගත්තේ රනිල් වික්‍රමසිංහයි

-හිටපු ඇමැති එස්.බී. දිසානායක

by sachintha
September 17, 2024 1:05 am 0 comment

අරගලකරුවන් ගෝල්ෆේස් පිටිය අවීචි මහා නරකාදියක් කරගනිමින් පවත්වාගෙන ගිය ගණිකා හට්, කුඩු හට්, ගංජා හට්, අයිස් හට් ඉවත් කර රට ගිනි ගැනීමෙන් බේරාගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කොත්මලේ හපුගස්තලාව නගරයේදී පෙරේදා (15) රාත්‍රියේ පැවති ජන හමුවකක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා:

“එදා ගෝඨාභය පාලන සමයේ මේ අරගලකරුවන් රටේ දේපළ විනාශ කරද්දී වාහන ගිනි තියද්දි ජනාධිපති මන්දිරිය මංකොල්ලකද්දී ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස මංකොල්ලකද්දී විතරක් නෙවෙයි,මහමඟ මන්ත්‍රීවරුන් මරද්දී පොලිසිය හමුදාව බලා හිටියා. මේ විදිහට ජනාධිපති ගෝඨාභයගේත් අගමැති මහින්දගේත් නියෝග පොලිසිය හමුදාව නොපිළිගන්නා තත්ත්වයක තිබුණේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිකම භාර ගත්ත විගසින් ඔහුට පුළුවන් වුණා පොලිසිය හමුදාව මෙහෙයවලා මේ සියලු විනාශයන් පාලනය කරන්න.

“1971දී වගේම 87 හා 89ත් 2023 හා 24 කාලවල වගේ නැවතත් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ හොරකම් කරන්න මංකොල්ල කන්න, කප්පම් ගන්න හා මිනී මරන්න සූදානම් වෙනවා. උතුරට ගිහින් කළ ප්‍රකාශවලින් එය තහවුරු වුණා. ඒ වගේම දකුණේ විශ්වවිද්‍යාලවල පහර දීම්, රැස්වීම්වල පහරදීම්වලින් මේවා තහවුරු වුණා. ඒ වගේම කෘෂිකර්ම ඇමැති විදිහට අනුර කුමාර බොහෝ ආයතන කඩාවැට්ටෙවුවා. එයා අසාර්ථක නායකයෙක්

“සජිත් කියන්නෙත් අසාර්ථක නායකයෙක් 2015දී එයාට දෙන්නේ මම හදපු සමෘද්ධි අමාත්‍යාංශයයි නිවාස අමාත්‍යාංශයයි. සමෘද්ධි ව්‍යාපාරය තුළ තිබෙනවා නිවාස අරමුදලක්. ඕනෑම පැල්පතක් ගැන පත්තරේක දාලා තිබ්බොත් මම ඒක ඉක්මනට හදලා දෙනවා. ඕනෑ තරම් සල්ලි තිබෙනවා මේ නිවාස අරමුදලේ. ඒත් සජිත් එක ගෙයක්වත් මේ අයට හදලා දුන්නේ නෑ. ඒ අරමුදල දැක්කෙත් නෑ. ඒත් සංස්කෘතික අරමුදලෙන් එයා කළේ කක්කුස්සි හදලා දීපු එක. ඒ නිසා මේ දෙන්නම අසාර්ථක නායකයෝ.”

කුමාර දසනායක, අශෝක හේරත්, අජිත් මෙන්ඩිස්, ෆුර්කන් හාජියර්, සෙනරත් බණ්ඩාර මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

ගම්පොළ – සුරංග රාජනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT