විදුහලේ රජයේ ගුරුවරුන් නෑ
මඩකළපුවේ සිංහල දරුවන් ඉගෙන ගන්නේ දෙමළ බසින්
මඩකළපුව වාලච්චේන කල්කුඩා ශ්‍රි සීලාලංකාර විද්‍යාලයේ සිසු සිසුහු පළමුවරට ඔවුන්ගේ මවුබස වන සිංහල භාෂාවෙන් ශිෂ්‍යත්වයට මෙවර පෙනී සිටි බව වාර්තා වේ.
සිංහල මාධ්‍යයෙන් කිසිදු විභාගයක් වසර 42ක් පුරාවටම මෙම විදුහලේ පවත්වා නැති බවත්, සිංහල දරුවන් මඩකළපුව දිස්ත්‍රික්කයේ ජීවත් වුවද සිසුන්ට අධ්‍යාපනය ලැබීමට සිදු වූයේ දමිළ හා මුස්ලිම් විද්‍යාලවලින් බව මඩකළපුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
වසර 42ක් පුරාවට විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද ලිපි ලේඛනවල සිංහල භාෂාවේ කඩඉම් ලකුණු තීරයේ සටහන් වී ඇත්තේ ඇළ ඉරක් බවත්, මඩකළපුව දිස්ත්‍රික්කයේ වසර 42කින් අනතුරුව කල්කුඩා ශ්‍රී සීලාලංකාර විද්‍යාලයේ දරුවන් හයදෙනකු සිංහල භාෂාවෙන් පළමුවරට ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීම විශාල ජයග්‍රහණයක් බවත් ඒ පිළිබඳ අදහස් දක්වමින් දේවගල දේවාලංකාර නාහිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
මවු භාෂාවෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීම පිළිබඳව දරුවන් මෙන්ම මාපියන් ද විද්‍යාලයේ ගුරුවරුන්ද ඉමහත් සතුටට පත්වන බවත්, ඒ සඳහා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් එම වැඩකටයුතු සිදුකර ගැනීමට ඉමහත් ශක්තියක් ලැබුණු බවද දේවාලංකාර නාහිමියෝ පැවසූහ.
යුද්ධය අවසන්ව වසර දාහතරකට ආසන්න කාලයක් වන බවත්, මඩකළපුව දිස්ත්‍රික්කයේ කිසිදු සිංහල දරුවකුට තම මවු භාෂාවෙන් විභාගයකට මුහුණ දීමට අවස්ථාව නොලැබුණු බවත්, එම අවස්ථාව උදාකර ගැනීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම සහයෝගය ලබාදුන් සැමට තම ස්තුතිය හා ගෞරවය හිමි කරන බවද දේවාලංකාර නාහිමියෝ පැවසූහ.
ඒ අනුව වසර 42 කින් අනතුරුව මඩකළපුව දිස්ත්‍රික්කයේ පළමුවරට සිංහල භාෂාවෙන් ශිෂ්‍යත්ව විභාගය සඳහා පිරිමි දරුවන් තිදෙනකු සහ ගැහැනු දරුවන් තිදෙනකු මුහුණ දුන් අතර ඔවුන් මඩකළපුව කිරාන් විවේකානන්ද විද්‍යාලයේදී විභාගයට මුහුණ දුන්හ.
රජයේ ගුරුවරුන් නොමැති විද්‍යාලයක ස්වේච්ඡාවෙන් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන් අටදෙනකු සිටින කල්කුඩා සිංහල විද්‍යාලයේ ගුරුවරුන් විශාල කැපකිරීමක් කරන බවත්, එම ගුරුවරුන් කොන්ත්‍රාත් පදනම මත හෝ ගුරු සහායකයන් ලෙස බඳවාගෙන මඩකළපුව දිස්ත්‍රික්කයේ සිංහල දරුවන්ට මවු භාෂාවෙන් සියලු අධ්‍යාපන අයිතිවාසිකම් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසත් දේවාලංකාර නාහිමියෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළහ.
සිරිපුර – මදුශානි අබේසිංහ