ශ්‍රී ලංකාවේ ජීවත්වෙන සෑම පවුලකම අවම මාසික ආදායම රුපියල් ලක්ෂයක් දක්වා විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ තමා සතු බවත් තරුව ලකුණෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපතිධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය. ඒ මහතා මේ බැව් පැවසුවේ මොනරාගල නගරයේ පරණ බස් නැවතුම්පොළ අසලදී ඉකුත්දා (16) සවස පැවති ජන හමුවක් අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා:
“අස්වැසුම, සමෘද්ධිය, ජනසවිය වැනි සහනාධාර වැඩසටහන් රට පුරා දියත් කළත් ඒ කිසිවෙකුගෙන් දිළිඳු ජනතාවගේ ආර්ථිකය උසස් මට්ටමකට පත්වුණේ නැහැ. දේශපාලඥයන් පසුපස ගොස් ඒවා ලබාගැනීමට සිදුවුණා.එවැනි වැඩසටහන් අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ.දේශපාලඥයින් පසුපස ගොස් සහනාධාර ලබාගැනීමේ ක්‍රමය අවසන්කොට ගෞරවාන්විතව ආදායම වැඩිකිරීමේ වැඩපිළිවෙළක් අපි දියත් කරනවා. ලක්ෂයක අවම ආදායමක් ඉපයීමේ මාර්ග සකස්කොට එය ලක්ෂ පහ දක්වා වැඩිකිරීම අපේ අරමුණයි. රජයට බරක් නොවී ණය නොවී ජීවත්වීමේ මාර්ගය සෑම පවුලකටම ලබාදෙනවා. සමෘද්ධිය ලබාදෙන සමෘද්ධි නිලධාරීන් අද අසරණ වෙලා. අවුරුදු ගණනකින් වැටුප් වර්ධකයක්වත් ලබාදී නෑ. ඔවුන්ට අභිමානයෙන් යුතුව වැඩකිරීමට අවශ්‍ය වැටුපක් ලබාදෙන අතර සියලුම රජයේ සේවකයන්ට ඒ අවස්ථාව ලබාදෙනවා. පෙර පාසල් අධ්‍යාපනයේ සිට ප්‍රාථමික, ද්විතීක සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වඩා ශක්තිමත්කොට රැකියා සොයායන තරුණ තරුණියන් වෙනුවට රැකියා ලබාදෙන ව්‍යවසායකයන් බිහිකරනවා.වෙල්ලස්ස ප්‍රදේශයේ ජීවත්වෙන්නේ සටන්කාමී ජනතාවක්. ඔවුන් ජාන වලින්ම අයුක්තියට, අසාධාරණයට එරෙහි වන පිරිසක්. නමුත් පසුගිය කාලයේ පැවති සෑම මැතිවරණයකදීම ඔවුන් අනාථ වුණා. මම කිසිම දිනක දේශපාලනයට අවතීර්ණවීමට සිතුවේ නැහැ. නමුත් පසුගිය කාලයේදී රටේ දේශපාලනයට පිවිසි සෑම නායකයෙක්ම කළේ රට දිනෙන් දින අගාධයට පත්කිරීමයි. මම හොඳ ව්‍යවසායකයෙක්. රජයට බදු ගෙවනවා. සේවක සේවිකාවන් විශාල පිරිසකට ඊපීඑෆ්, ඊටීඑෆ් අඛණ්ඩව ලබාදෙනවා. තුට්ටු දෙකේ දේශපාලනයට තිත තැබිය යුතුයි.ඉදිරි ජනාධිපතිවරණයේදී රටට ජනතාවට ආදරේ කරන රටේ සම්පත් නොවිකුණන ණය නොගන්නා ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. දැන් කෑමොර දෙන නායකයන් තිදෙනාටම එය බැහැ. ඔවුන් සිටින්නේ රට විනාශ කරන පැත්තේ.”
ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප්‍රධාන සංඝ නායක කහම්බාන තිස්ලෙන් විහාරාධිපති කෙසෙල්වත්තේ විමලතිස්ස හිමි, මව්බිම ජනතා පක්ෂයේ නායක හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර ශ්‍රීලංකා කොමියුනිට්ස් පක්ෂයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ