දකුණු ආසියාවේ දැවැන්තම කාර් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වන වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වන බව එක්සත් ජාතික පක්‍ෂ උපනායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. කුලියාපිටිය ඒ මහතාගේ නිවෙසේ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකදී ඊයේ (16) ඒ මහතා මේ බව කීවේය.
මේ කර්මාන්ත ශාලාව අල්ලගෙන අපට මඩ ප්‍රහාර එල්ල වුණා. වෙස්ටර්න් ඔටෝ මොබයිල් ආයතනය හෙට විවෘත කරනවා විතරක් නෙවෙයි එහි එකලස් කරන ලද වාහන රැසක් එළිදක්වනවා.
එම කර්මාන්ත ශාලාව තුළ දිනකට මේ වන විට වාහන 25ක් එකලස් කරනවා. එහිදී මෝටර් කාර් විතරක් නෙවෙයි විවිධ වෙළෙඳ නාමයන්ගෙන් යුතු වෑන්, කාර්, ඩබල් කැබ් ආදි වාහනත් එකලස් කරනවා. ඊට අමතරව තවත් වාහන වර්ග 4ක් එකලස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම කර්මාන්ත ශාලාව තුළින් ඍජු රැකියා දහසක් වගේම වක්‍ර රැකියා දහසක් නිර්මාණය වෙනවා. ඒ එක්කම අප එම කර්මාන්ත ශාලාවට අවශ්‍ය ශ‍්‍රමිකයන් පුහුණු කරන පුහුණු පාසලක් නිර්මාණය කරනවා.
එහිදී අවශ්‍ය අයට ඒ පුහුණුව මඟින් විදෙස් රැකියාවන්ට යන්න අවශ්‍ය විධිමත් සහතිකපත‍්‍රලාභී පුහුණුවක් ලබා දෙනවා. කර්මාන්ත ශාලාව නිර්මාණ වීම තුළින් අපේ ප‍්‍රදේශයේ ජනතාවට පමණක් නෙවෙයි රටේම ජනතාවට තීරුබදුවලින් නිදහස්ව වාහන සිහිනය සැබෑ කර ගන්න පුළුවන් වෙනවා. මෙහි තිබෙන විශේෂත්වය වෙන්නෙ ඒ සියලු වාහනවලට අමතර කොටස් පහසු මිලට අඩුපාඩුවක් නැතිව ලබා ගැනීමට හැකිවීම යැයි ද හෙතෙම මෙහිදී කීවේය.
කුලියාපිටිය – මෙවිරු ධනාන්