ජාතික ජන බලවේගයේ මෙහෙයවීමෙන් මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැති ජන රැලියකට සහභාගි වී ආපසු යමින් සිටි ආධාරකරුවන් රැගත් බස් රථයකට පහර දුන් බව කියන සමගි ජන බලවේගයේ ආධාරකරුවන් 8 දෙනකුට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට වැල්ලවාය වැඩබලන මහේස්ත්‍රාත් මාලනී තෙන්නකෝන් මහත්මිය පෙරේදා (15) නියෝග කළාය. ඇප ලැබූ සැකකරුවන් අතර බුත්තල ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා දුන් අයකු ද සිටින බව පැවසේ. ඉකුත් 13 වැනිදා මෙම ජනහමුව නිම වී පෞද්ගලික බස් රථයකින් ජාජබ ආධාරකරුවන් ආපසු නිවෙස් බලා යමින් සිටියදී මොනරාගල බුත්තල මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේදී බස් රථය නතර කොට එහි සිටි ආධාරකරුවන්ට පොලු මුගුරුවලින් පහරදී තිබිණි. එම පහරදීමෙන් තුවාල ලැබූ සිව්දෙනකු බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරිණි.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ බුත්තල පොලිසිය මෙම පහරදීම සම්බන්ධයෙන් මහගොඩයාය ප්‍රදේශයේ පදිංචිකරුවන් අටදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අංක ND-6060 දරන පෞද්ගලික බස් රථය කතරගමට ධාවනය වෙමින් තිබියදී මහගොඩයාය සමගි ජන බලවේගයේ මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදී එහි සිටි පිරිසක් කොඩි කණුවක් දමා බස් රථය නතර කරන ලෙස සංඥා කර ඇත. බස් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර ඒ අවස්ථාවේදී සැකකරුවන් බසයට මුගුරකින් පහරදී ඇත. පසුව බස් රථය මඳ දුරක් ගොස් නවතා එහි සිටි මගීන් කිහිපදෙනකු බසයෙන් බැස බසයට පහරදුන්නේ ඇයිදැයි විමසා තිබේ. එහිදී සැකකරුවන් අට දෙනකු පැමිණ බසයට යළි පහරදී තිබේ. එයින් සැකකරුවන් සිව්දෙනකු දාහතර වැනි දිනදී ද තවත් දෙදෙනකු දාසය වැනි දිනයේදී ද අධිකරණයට ඉදිරිපත් කරන ලදි. පැමිණිල්ල ඉදිරිපත් කළ බුත්තල පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ජී බණ්ඩාර මහතා සැකකරුවන් සමගි ජන බලවේගයේ ආධාරකරුවන් බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදි. වැඩිදුර නඩු විභාගය සැප්තැම්බර් 18 වැනි දිනට කල් තැබිණි. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ශ්‍රීමාලි කෝරලගමගේ මහත්මිය පෙනී සිටියාය.
ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක