පසුගිය 15 වැනි ඉරු දින පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහ ඔස්සේ හුවමාරු වී ඇතැයි ගුරුවරුන් සහ මවුපියන් පිරිසක් චෝදනා එල්ල කර තිබේ.
අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් මේ ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි මේ පාර්ශ්වයන් පෙන්වා දී ඇත.
තවත් මවුපියන් පිරිසක් චෝදනා කර ඇත්තේ අලව්ව ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයකු විසින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය හා සමාන ප්‍රශ්න පත්‍රයක් සිය උපකාර පන්ති පැමිණෙන දරුවන්ගේ වට්ස්ඇප් සමූහයකට යොමු කර ඇති බවයි.
මෙම ගුරුවරයා ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පැමිණ තිබූ ප්‍රශ්න හා සමානව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න කිහිපයක් සිය පාසල් දරුවන්ට ද ලබාදී ඇතැයි පැවසේ. විභාගය පැවැත්වීමට පෙර දින 14 වැනිදා ඔහු එම ප්‍රශ්න සිය උපකාරක පන්තිවලට පැමිණෙන සිසුන්ගේ වට්ස්ඇප් සමූහයට යොමු කර පසුව ඉරු දින අලුයම එය මකා දමා ඇතැයි ද පැවැසේ.
විභාග දෙපාර්තමේන්තුවට මේ ගැන පැමිණිලි කර ඇති බවට පාසල් ගුරුවරුන්ගේ වට්ස්ඇප් සමූහයක් තුළ සඳහන්ව තිබිණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාව විමසීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දුරකතන මාර්ග ඔස්සේ සම්බන්ධ කර ගැනීමට ‘දිනමිණ’ උත්සාහ කළ ද පත්‍රය මුද්‍රණයට යන තෙක් එය සාර්ථක වූයේ නැත.