1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය බුද්ධාගම ආරක්ෂා කර පෝෂණය කරන අතර අනෙක් ආගම්වලට ද සමාන ආකාරයෙන් සැලකෙන බව සඳහන් වේ. ආගම පිළිබඳ මෙම විධිවිධාන සලසා ඇත්තේ බහුතරයකගේ බලය යොදා ගැනීමකින් නොවේ.
සැප්තැම්බර් මස 14 වැනිදා කුරුණෑගල ඇතුගල බුද්ධ ප්‍රතිමාව අබියස භික්ෂූන් වහන්සේලා දහසකට ආසන්න පිරිසක් රැස්ව ආශීර්වාද පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා ඉන් අනතුරුව අද පවත්නා දේශපාලනය තුළ පැන නැඟී ඇති බෞද්ධ විරෝධී ක්‍රියා පිළිබඳව විරෝධය පළ කළහ. එහිදී මාධ්‍ය ඇමතූ භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරණ දේශපාලනය තුළ ඇතැම් පක්ෂ විසින් බෞද්ධ විරෝධී පිළිවෙතක් අනුගමනය කර සිටින බවත් එවැනි ක්‍රියාවලට ඉඩ තැබීමට භික්ෂූන් වහන්සේලා සූදානම් නැති බවත්ය.
මහාසංඝයා වහන්සේලාට මෙම ජනාධිපතිවරණ සමයේ මෙවැනි විරෝධතාවක් දැක්වීමට සිදුව ඇත්තේ කුමක් නිසා ද යන්න විමසා බැලිය යුතුව ඇත.
පසුගිය කාලය තුළම ඇතැම් පිරිස් විසින් නිරාගාමිකයන් ලෙස තමන් හඳුන්වා ගනිමින් බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් දියත් කර ඇති ආකාරය බොහෝ දෙනෙකුට දැක ගැනීමට හැකි වූයේ යැයි සිතමි. බුදුරජාණන් වහන්සේට අපහාස වන ආකාරයේ පොත්පත් සහ ප්‍රකාශන ප්‍රකාශයට පත්කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ බෞද්ධ විරෝධී ප්‍රකාශන සහ ප්‍රචාර ගෙන යන ලදි. ඒත් මෙම නිරාගාමිකයන් පිළිබඳව විමර්ශනය කරන විට පෙනී ගියේ බොහෝ දෙනෙක් වෙනත් ආගම්වලට හෝ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බවය. තමන්ට බලයට පැමිණීමට ප්‍රධාන බාධකයක් වී ඇත්තේ බුදුදහම ලෙස සලකමින් මහජනතාව සහ රටේ බහුතරයක් ජනතාව අතර ඇති සම්බන්ධතාව බිඳහෙළීම එම දේශපාලන පක්ෂයේ අරමුණ වී ඇති බව පෙනේ.
78 ව්‍යවස්ථාව
ඇතුගල මත පැවති ඉහත කී භික්ෂු සමුළුවේදී භික්ෂූන් වහන්සේලා විසින් අවධාරණය කළේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආගම පිළිබඳව කිසිවක් සඳහන් නොවන බවයි. ශ්‍රී ලංකාවේ අද ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහජන නියෝජිතයන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසකගේ කැමැත්ත මත සම්මත කර ගන්නා ලද ව්‍යවස්ථාවකි. එතෙක් පැවති ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් 1978 දී සම්මත කරගන්නා ලද දැනට පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් රටේ ආගම් සහ ආණ්ඩුවේ වගකීම පිළිබඳව නිශ්චය කර තිබේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය බුද්ධාගම ආරක්ෂා කර පෝෂණය කරන අතර අනෙක් ආගම්වලට ද සමාන ආකාරයෙන් සැලකෙන බව සඳහන් වේ. ආගම පිළිබඳ මෙම විධිවිධාන සලසා ඇත්තේ බහුතරයකගේ බලය යොදා ගැනීමකින් නොවේ. ශ්‍රී ලංකාවේ වසර 2500කට වැඩි ඉතිහාසය තුළ පරසතුරු පාලනයකට ගොදුරු වූ අවස්ථාවල දී හැර අනෙක් සෑම අවස්ථාවකදීම රජය විසින් බුද්ධාගම පෝෂණය කර ආරක්ෂා කර ගන්නා ලදි. රජය සහ බුදුදහම අතර පැවති සම්බන්ධතාව කොතරම් බලවත් තත්ත්වයක පැවතියේ ද යන්න උඩරට ගිවිසුම මඟින් පැහැදිලි වේ. බුද්ධාගම ආරක්ෂා කර පෝෂණය කිරීම රජයේ වගකීමක් බව උඩරට ගිවිසුමේ සඳහන් වේ. ඉංග්‍රීසි රජය එම පොරොන්දුව ඉටුකිරීම ආරම්භ කරන ලද්දේ එතෙක් සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ යළි දළදා මාලිගාවට වඩම්මවා මහනුවර දළදා පෙරහර යළි ආරම්භ කිරීමට අනුග්‍රහය සහ ආරක්ෂාව ලබාදීම මඟිනි.
නොවෙනස් සැලකුම්
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බුදුදහම පිළිබඳ ඉහත වගන්තිය ඇතුළත් කිරීම තුළින් අනෙක් ආගම්වල තත්ත්වය පහත හෙළීමක් හෝ ඒවාට අඩු සැලකිලි දැක්වීමක් අදහස් නොවේ. ඒවා ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව එම වගන්තියේ ම සඳහන් වේ. අනෙක් අතට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට අනුව ජාතිය, ආගම, භාෂාව හෝ කුලය වැනි සාධක පදනම් කරගෙන වෙනස්ව සැලකීම තහනම් කර තිබේ. ඒවා පදනම් කරගෙන වෙනස් කොට සැලකීම දඬුවම් ලැබිය යුතු වරදකි. ඒ අනුව පැහැදිලි වන්නේ බුදුදහම සහ රජය අතර සම්බන්ධතාව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද තහවුරු කරන අතරම ජාතියකට, ආගමකට හෝ භාෂාවකට වෙනස්ව සැලකීමක් සිදු නොවන ආකාරයට ද කටයුතු කර ඇති බවයි.
මාක්ස්වාදය විසින් ආගම ධනවාදයට ආධාර සපයන බලවේගයක් ලෙස සලකා එය හෙළා දැක තිබේ. ආගම අබින් ලෙස සැලකෙන ප්‍රකාශ මාක්ස්වාදී විග්‍රහයන් තුළ ඇතුළත්ව තිබෙන්නේ ඒ හේතුවෙනි. මාක්ස්වාදී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කර ඇති ජාතික ජන බලවේගය මාක්ස්වාදයේ සඳහන් ආගමික විග්‍රහයන් පිළිගැනීම පිළිබඳව ගැටලුවක් නැත. එහෙත් ගැටලුවක් වන්නේ එම බලවේගයේ ආගම පිළිබඳව අදහස සියලුම ආගම් පිළිබඳව නොව හුදෙක් බෞද්ධ විරෝධයක් පමණක්ම වන බව පෙනී යන බැවිනි.
ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවට බෝම්බ ගැසූ ආකාරය පිළිබඳව සෑමදෙනාම දැන සිටින්නේ යැයි සිතමි. දළදා මාලිගාවේ එම අවධියේ දියවඩන නිලමේ ධුරය දැරූ නේරංජන් විජේරත්න මහතා ප්‍රකාශ කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ එම බෝම්බ ප්‍රහාරයේ අරමුණ වූයේ දළදා වහන්සේ පැහැර ගැනීම බවයි. ප්‍රහාරය මඟින් විශාල හානියක් දළදා මාලිගා පරිශ්‍රයට සිදු වූ නමුත් දන්ත ධාතූන් වහන්සේ පැහැර ගැනීමට හෝ එයට හානියක් කිරීමට ඔවුන්ට හැකි වූයේ නැත.
සමාජ මාධ්‍ය
මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයන් විසින් බුදුදහම පිළිබඳව කර ඇති ඇතැම් ප්‍රකාශ සමාජ මාධ්‍යවල නරතුරුවම හුවමාරු වේ. ඒ අතරින් ජාතික ජන බලවේගයේ ප්‍රධාන නායකයකු වන සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පිළිම වැඳීම සිංහල සංස්කෘතියේ අංගයක් වුව ද එය ගෝත්‍රික ක්‍රියාවක් බව ප්‍රකාශ කර ඇති වීඩියෝව එයින් එකකි. එය සිංහල සංස්කෘතියේ ලක්ෂණයක් වුවද කිසිදු වැදගැම්මකට නැති ක්‍රියාවක් බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
එම බලවේගයේ තවත් නායකයකු හා ප්‍රකාශකයකු වන නලින් හේවගේ නමැත්තා ඊටත් වඩා බරපතළ ප්‍රකාශයක් කර තිබේ. ඔහු බෞද්ධයන්ගේ ප්‍රධාන පිළිවෙතක් වන බෝධි වන්දනාව දැඩි ලෙස උපහාසයට සහ හාස්‍යයට ලක්කර ඇති අතර බුදුරජාණන් වහන්සේ පොල් ගසකට හෝ කොස් ගසකට පිටදී බුද්ධත්වයට පත් වූයේ නම් එවැනි ගස්වලින් පලදාවක් ලබාගැනීමට ඇති අවස්ථා ද අහිමිවන බව ප්‍රකාශ කර තිබේ.
එක අතකින් ජාතික ජන බලවේගයේ නායකයන් ඒ ආකාරයට බුදුදහම හෙළා දකින අතර එම පක්ෂයට සම්බන්ධ සහ හිතවත් පුද්ගලයින් විසින් ද ඒ ආකාරයේ ම හානියක් සිදු කරමින් සිටින බව පැහැදිලි වේ. බුදුන්ගේ රස්තියාදුව නමැති බුදුදහමට ගරහන පොත ලියා ඇත්තේ එම පක්ෂයට සම්බන්ධ පුද්ගලයකු විසිනි. එම පක්ෂයට සම්බන්ධ තවත් පුද්ගලයකු ඒ ආකාරයෙන්ම බුදුන් වහන්සේට නින්දා කිරීම නිසා නඩු පැවරූ අවස්ථාවේදී බෞද්ධ ජනතාවගෙන් තමන්ගෙන් සිදු වූ වරද පිළිබඳව සමාව අයැද සිටියේය. එම පුද්ගලයා විසින් මෑත දී කරන ලද ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ. ඔහු විසින් මිහින්තලයේ විහාරාධිපති හිමිපාණන්ටත්, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ටත් අපහාසාත්මක ලෙස ගරහයි. ජාතික ජන බලවේගයේ රජයක් පත් වූ පසු එවැනි භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ගලවන බව ද ප්‍රකාශ කර තිබේ.
සර් ජෝන්
මේ ආකාරයට ජාතික ජන බලවේගයේ ප්‍රචාර මඟින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සහ බුදුදහමට ගැරහීම මඟින් සිදුකර ඇති අපහාසය හා අවමානය අතිවිශාලය. බුදුදහමට මේ ආකාරයෙන් ම නිගා කරමින් හැසුරුණු පුද්ගලයන්ට ඉතිහාසය තුළ ලැබිය යුතු ස්ථානය තීරණය කිරීමට මහජනතාව විසින් කටයුතු කර ඇති බව පෙනේ. 1956 මහමැතිවරණය ආසන්නයේ දී එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි සර් ජෝන් කොතලාවල දුශ්ශීල භික්ෂූන් වහන්සේලාගේ පිටුපස තාර ගා ඔවුන් බුදු සසුනින් එළවා දමන බව ප්‍රකාශ කළේය. මහජනතාව ඔහුට සහ පක්ෂයට එම මැතිවරණයේදී කදිම පිළිතුරක් ලබා දුන්නේය.
නිදහසින් පසු 1948 සිට 1956 දක්වා රට පාලනය සර් ජෝන් කොතලාවල මහතාගේ පක්ෂයට එම මැතිවරණයේ දී හිමි වූයේ ආසන 08ක් පමණි. බුදුදහමට අපහාස උපහාස කළ පක්ෂවලට සහ නායකයන්ට මහජනතාව විසින් ප්‍රතිචාර දැක්වූයේ ඒ ආකාරයෙනි. ජාතික ජන බලවේගයේ ඇතැම් නායකයන්, සාමාජිකයන් සහ අනුගාමිකයන් විසින් ගෙන යන බෞද්ධ විරෝධී පිළිවෙතට මෙම ජනාධිපතිවරණයේදී මහජනතාව විසින් ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දක්වනු ඇතැයි අද මහලොකු කමක් ලෙස සලකා එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් අවබෝධ කරගත යුතුව ඇත.
ජනමිත්‍ර