හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ මහතා රත්නපුර ලොරි රථගාලේ පැවැති සමඟි ජන බලවේගයේ ජනරැළියේ වේදිකාවට ගොඩවීමත් සමඟ ඊට විරෝධය පාමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ ඇතුළු සංවිධායකවරු කිහිපදෙනකු වේදකාවෙන් බිමට බැස තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (14) පැවැති මෙම ජන රැලිය පැවැත්වෙමින් තිබිය දී හිටි හැටියේ පොදුජන පෙරමුණේ නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වූ සුසන්ත පුංචිනිලමේ මහතා පැමිණ වේදිකාවට ගොඩ විය.
මේ අවස්ථාවේ ඔහුට විරෝධය දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මෙන්ම රත්නපුර දිස්ත්‍රික් ආසන සංවිධායකවරු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් වේදිකාවෙන් බැසීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනිණ. මේ විරෝධය හමුවේ සුසන්ත පුංචිනිලමේ මහතා වේදිකාවෙන් බැස ගොස් නැවත පැමිණ ජනතාවට ආචාර කොට හැරි ගියේය.
පසුව හේෂා විතානගේ මන්ත්‍රීවරයා ජන හමුව අමතමින් සුසන්ත පුංචිනිලමේ මහතාගේ පැමිණීමට දැඩි විරෝධය පා අදහස් දැක් වූ අතර, ඔහු පවසා සිටියේ පක්ෂයට සම්බන්ධ වීමට රැල්ලත් සමඟ කූඩැල්ලන් ආවත් ඔවුන් පක්ෂයට බාර නොගන්නා බවයි. සජිත් ප්‍රේමදාස මහතා ජනතාව අමතන අවස්ථාවේ සුසන්ත පුංචිනිලමේ මහතා වේදිකාව මත නොසිටිනු දක්නට ලැබිණි. විරෝදතාව ප්‍රකාශ කළ සංවිධායකවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් කිහිප දෙනකු ජනහමුවෙන් පසුව පවසා ඇත්තේ ජනාධිපතිවරණය ඔන්න මෙන්න කියා තිබිය දී ආණ්ඩු පක්ෂයේ සිටිමින් චෝදනා ඇති මන්ත්‍රීවරයකු පක්ෂයට එක්කර ගැනීම පක්ෂයේ ඉදිරි ගමනට දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඔහුගේ පැමිණීමට විරෝධය පළ කළ බවයි. ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ සංවිධායකවරයකු ලෙස පක්ෂයට සම්බන්ධ කර ගතහොත් සියලු දෙනා සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වන බව ද පාක්ෂිකයන්ට පවසා ඇත.
කේ.ඒ.සුනිල් -කුරුවිට