ගෘහ සේවය සඳහා මීට වසර විසි අටකට පෙර සවුදියට ගොස් ඇති මේ වන විට 75 වැනි වියෙහි පසුවන දෙදරු මවක නිසි මතකයක් ද නැති තත්ත්වයකින් හිස් අතින්ම මෙරටට එවා ඇත.
මෙම මවගේ වැඩිමල් දරුවා වන තුෂාර සම්පත් විජේකුමාර මහතාට පසුගියදා (13) පෙරවරුවේ ලැබුණු දුරකතන ඇමතුමකට අනුව, කටුනායක ගුවන්තොටුපොළෙහි සහන පියස ඇමැතීමේදී මව මෙරටට එවා ඇති බැවින් ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ලෙස දැනුම් දීම මත එහි ගොස් මව භාරගනු ලැබූ බව තුෂාර සම්පත් මහතා සඳහන් කළේය.
කුරුණෑගල, බණ්ඩාර කොස්වත්ත, හිඳගහවැව පදිංචිව සිටි ඊ.එම්. කමලාවතී වන ඇය කුලියාපිටිය, මීගහකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා ආයතනයක් මඟින් 1995 මැයි මස 17 වැනි දින සවුදි රියාද් බලා ගිය බව මේ වන විට 41 වැනි වියෙහි පසුවන ඇගේ වැඩිමල් පුතු වන තුෂාර සම්පත් මහතා පැවසීය.
සහන පියස වෙත තම අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව මව භාරගනු ලැබූ බවත් මව සමඟ එවා තිබූ පැරණි ඇඳුම් දැමූ ගමන් බෑග් දෙකක් සහ බෙහෙත් පෙති කිහිපයක් සහිත කුඩා අත් බෑගයක් ලබාගත් බවත් හෙතෙම සඳහන් කළේය.
ගුවන්තොටුපොළ සහන පියස වෙතට පසුගියදා (10) මව භාරදී ඇති අතර එහිදී තොරතුරු විමසීමේදී කුරුණෑගල, බණ්ඩාර කොස්වත්ත, හිඳගහවැව ග්‍රාමයෙහි පදිංචිව සිටි බව මතකයේ තිබී ඇති බවත් තමාගේ සහ සොයුරියගේ නම පැවසීම මත හිඳගහවැව වසම භාර ග්‍රාම නිලධාරිවරයා සම්බන්ධ කර ගනිමින් එහි වාසය කරන තම ඥාතීන්ගෙන් තමන්ගේ දුරකතන අංකය ලබාගෙන ග්‍රාම නිලධාරිවරයා විසින් තමා අමතා මව ගුවන්තොටුපොළේ සිටින බැවින්, එහි දුරකතන අංකයක් ලබාදී සහන පියස අමතන ලෙසට කළ දැනුම්දීමට අනුව එහි ගොස් මව භාර ගැනීමට හැකි වූ බව තුෂාර සම්පත් මහතා අපට පැවසීය.
මේ වන විට මෙම මව තුෂාර සම්පත් වෙසෙන ගම්පහ, කළගෙඩිහේන ප්‍රදේශයේ නිවෙස වෙත රැගෙනවිත් සිටින අතර අප එහි ගොස් ඇය හමුවූ අවස්ථාවේ යම් කම්පන තත්ත්වයකින් පසුවන ආකාරයක් සහ විමසන යමකට මඳ වේලාවක් බලා සිට කතා කරන බවක් පෙණිනි. විමසන යමකට සිංහලෙන් පිළිතුරු දීමට පටන්ගෙන වචන කිහිපයක් කතාකොට අරාබි භාෂාවෙන් යම් යම් දේවල් කතා කිරීම සිදු කළාය.
තුෂාර සම්පත් මහතාගේ බිරිය සඳහන් කර සිටියේ, මව සේවය කළ නිවෙසෙහි වැටීම මත රෝහල්ගතව සිටි බවත් ගෙවී ගිය කාලය පුරාවට වැටුපක් ලබා නොදුන් බවත් වරින්වර කල්පනා කරමින් සිට පවසන බවත්ය. මව විදේශගත වන විට තමන්ට වයස අවුරුදු 13ක් සහ සහෝදරියට අවුරුදු 12ක්ව සිටි බව සඳහන් කළ තුෂාර, තමන්ගේ මතකයට අනුව මාස කිහිපයක් පියාට මුදල් එවූව ද වසරකට පමණ පසුව මවගෙන් ලිපි නොලැබී යෑම මත පියා, ඒජන්සිය සහ විවිධ ස්ථානයන් වෙත ගිය ද තොරතුරක් නොවූ බවත් අවසානයේ මවට යම් කරදරයක් වන්නට ඇතැයි පියා ඇතුළු ඥාතීන් දැඩි කම්පාවට පත්ව සිටි බවත් පැවසීය.
මව පිළිබඳ කිසිදු තොරතුරක් නැති වීම මත දැඩි සේ වේදනාවට පත්ව සිටි තම පියා 2009 වර්ෂයේදී මරණයට පත්වූ බව ද ඔහු ප්‍රකාශ කළ අතර තම මව නිවෙසක රඳවා තබාගෙන වැටුපක් පවා නොදී සේවය ලබාගෙන ඇති බව සිතිය හැකි යැයි ද කීය.
ඇගේ විදේශ ගමන් බලපත්‍රය පවා මෙරටට එවීමේදී නොතිබී ඇති අතර ඇය භාරදීම සිදු කළ කටුනායක ගුවන්තොටුපොළෙහි සහන පියස වෙතින් දුරකතනයෙන් කළ විමසීමේදී එහි නිලධාරිනියක සඳහන් කර ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ඇය සහන පියස වෙත භාරදීම සිදු කළ බවත් පසුව ඉතා අපහසුවෙන් තොරතුරු ලබා ගනිමින් ඥාතීන්ට භාරදීමට පියවර ගත් බවත්ය.
කමලාවතී මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය නොතිබීම ගැන විමසීමේදී එම නිලධාරිනිය ප්‍රකාශ කළේ තාවකාලික ගමන් බලපත්‍රයක් සකසා මැය මෙරටට එවීම සිදු කොට ඇති බවය.
තම මවට වසර 28ක කාලයක් පුරා වැටුපක් පවා ලබා නොදී සේවය ලබාගෙන තිබීම විශාල අසාධාරණයක් මෙන්ම මැය යම් රෝගී තත්ත්වයකට පවා පත්ව සිටින බැවින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට සේවය කළ ස්ථානය සොයා වන්දියක් සහිත සාධාරණයක් ඉටු කර දීමට පියවර ගන්නා ලෙස දරුවන් සහ ඥාතීහු රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ගම්පහ අතිරේක