Home » පැරණි සඳට ඇයි මෙතරම් සැහැසිකම්

පැරණි සඳට ඇයි මෙතරම් සැහැසිකම්

by sachintha
September 16, 2024 1:00 am 0 comment

පෘථිවියට අලුත් සඳක් පායා ඒමට නියමිතය. අප දෙසට ගමන් කරන, ග්‍රාහකයට අත්වෙන අසාමාන්‍ය ඉරණම හේතුවෙන් මේ ආකාරයට අලුත් සඳක් නිර්මාණය වෙනවා ඇත. වෙනදාට මේ ආකාරයේ ග්‍රාහකයක්, වායුගෝලයට අැතුළුවුවහොත්, එය කඩාගෙන වැටෙන්නේය. එසේ නැතිනම් වායුගෝලය ඇතුළේම අළුදුලී බවට පත් වන්නේය. පී.ටී. පහ ලෙස නම් කරන ලද මේ ග්‍රාහකය, පෘථිවි කක්ෂයේ සිරවී සිටීම හේතුවෙන්, එය කුඩා සඳක් බවට පත් වීමට නියමිතය. අලුත් සඳ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ග්‍රහණය තුළ රැඳී සිටින්නේ මාස දෙකක් වැනි කෙටි කාලයකි.

විෂ්කම්භය අඩි 33ක් පමණ වන මේ සඳ, සොයා ගන්නා ලද්දේ මැඩ්රිඩ්හි කම්ප්ලයුටෙන්ස් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයින් දෙදෙනෙකු විසිනි. ග්‍රාහකයේ, කක්ෂය අධ්‍යයනය කර, සැප්තැම්බර් 29 සහ නොවැම්බර් 25 අතර කෙටි කාලයක් එය පෘථිවිය සමඟ රැඳී සිටින බව විද්‍යාඥයින්ගේ අදහසය. අපට සඳක් වීමෙන් අනතුරුව නැවතත් සූර්යයාගේ කක්ෂයට වැටී සෞරග්‍රහ මණ්ඩලය හරහා එය, සිය නිමා නොවන චාරිකාවේ නිමග්න වනු ඇත්තේය.

සැප්තැම්බර් 29 වැනිදා සිට දින පනස් හතක කාලයකට, පෘථිවියට චන්ද්‍රයින් දෙදෙනෙකු සිටින්නේ මේ සංසිද්ධිය නිසාය. අදට වඩා එළිය හඳක් නොව එක් සඳක් වෙනුවට, පාළු මකන තව සඳක් පායා එන මනරම් ආකාරය මේ සමයේ අපට දැක බලාගත හැක්කේය. මේ ආකාරයට පැමිණ නොපෙනී යන කුඩා චන්ද්‍රයෝ වනාහි අපට ආගන්තුක වස්තුන් නොවේ. මීට පෙර ද පෘථිවියේ අලංකාරය වැඩි කරමින්, 1981 වසරේදී ‘කෙටිකාලීන කුඩා සඳක්’ පායා ආවේය.

පියවි ඇසින් හෝ සාමාන්‍ය දුරේක්ෂයකින් අලුත් සඳ දැකිය නොහැකිවීම අපගේ භාග්‍යයකි. සඳ දෙකම දිස්වූයේ නම් මේ පොළොවේ සිටිනා උමතු වූවෝ මෙතුවක් කල් තිබූ සඳට ගරහන ආකාරය බලා ගත හැකි වන්නේය. ඔවුහු පෝය දිනයේ සිට සියල්ල අලුත් සඳට අනුව සකසනවා ඇත. දින කිහිපයකට මතුවෙන සඳ දෙස බලා අලුතෙන් වේලාපත්කඩය පවා සකසන ජ්‍යොතිෂය ඇදුරෝ බිහිවෙනවා ඇත්තේය. එදා සඳට නොව මෙදා සඳට, පුදුමාකාරයෙන් කඩේ යෑමට පටන් ගන්නවා ඇත. එදා සිට අපගේ කවි සිත් අවදි කළ සඳට ගරහා, නව සඳ ගැන පද ගොතනවා ඇත. එය කුඩා වපසරියක් සහිත වග දැන දැන වුවද, දින ගණනකින් අපගේ බලකේන්ද්‍රයෙන් ඉවත්ව යන බව දැන දැනම වුවද ‘අලුත්’ යන පදයට වශීවී එක්තරා පිරිසක් ඒ මත්තේම නහින්නට යනු ඇත්තේය. මේ ආකාරයේ රටාවක්, මහ පොළොවේ සිටින කුඩා පිරිසකගේ මොළයේ වැඩ කරන්නේය. බහුතරයක්, ඒ රටාවට අනුගත නැත්තේ වුවද, ඔවුහු මේ විලම්බීත පිළිබඳව සද්ද කරන්නේ නැත. එහෙයින් සමාජ මාධ්‍යයේ සිට සියල්ලේ රජ කරන්නේ අර අතළොස්සක් වූ සුළුතරයේ හඬය. මේවා දකින පැරණි සඳ පිළිබඳව සිත් ඇති බහුතරය ද පැත්තකට වී බලා සිටිනවා විනා, සද්දේ දාන්න යන්නේ නැත. එහෙයින් අලුත් සඳට ආවඩන ගැන්සිය සිතන්නේ සියල්ලෝම ඔවුනගේ හඬට වශීකෘතව ඇත්තේ බවය. ඒ නිසාම සද්දය තවත් වැඩි වන්නේය. ඒ සඳ දෙස බලා මේ ආකාරයට ලෝකයම අලුත් ආකාරයකට යනවා ඇත්තේය. මේ සියල්ල සිදු වන්නේ ඒ පායන සඳේ තරම නොදැනය. දින කිහිපයක් සඳහා අහම්බෙන් කඩා වැදුණු චන්ද්‍රයා, ඔය ආකාරයට කරට ගත් වන, එය බැස ගිය පසු සියල්ල අල ගොඩක් වන්නේය. පෝය රටාව යළි අර්බුදයකට යන්නේය. චන්ද්‍රයා මුල් කරගත් හැම දෙයක්ම දෙයාකාරයකට, අර්ථකථනය කර ඇත්තේ බැවින්, අර සඳ බැස ගිය ද අවුල දිගටම පවතිනවා ඇත.

මේ සියල්ල දෙස බලා කිව යුත්තේ කොහේ හෝ යන ග්‍රාහකයක් මේ පැත්තට පහත් වූවාට අප ඒ ගැන එහෙමට සීරියස් විය යුතු නැති බවය. සඳ කලාවේ පටන් සියල්ල අපට ලබාදුන් පැරණි සඳවත යන්න ස්ථිරසාර ලෙස පිහිටන සහ ඒ ගැන අප සෑහෙන පමණකට දන්නා හෙයින් වැඩකට නැති අලුත් වස්තූන් ගැන අප කලබල විය යුතු නැත. ඒවා පැත්තකින් ඇවිත් නොපෙනීම යනු ඇත.

මේ ඡන්ද කාලය බැවින්, චන්ද්‍රයා තව ආකාර කිහිපයකට වැදගත් වන්නේය. එකක් ජ්‍යොතිෂ පැත්තය එවැනි විද්‍යාවක් සඳහා ගැරහීමට මේ තීරුව කැමැත්තක් නැත්තේය. ග්‍රහ මාරුවක් වූ සැණින් ‘ලග්න ගණනාවකට නොසිතු පෙරළි’ යන සිරිස්තලයෙන් යූටියුබ් වීඩියෝ දමා විව්ස් වැඩි කර ගන්නා අලුත් ජාවාරම්මු පිරිසක් සයිබර් අවකාශයේ ඇත්තාහ. ඔවුහු මේ සඳ ගැන තවම නොදන්නේ හෙයින් ඒ පැත්තෙන් ආපදාවක් ඇත්තේ නැත. දැන ගත් වන ඒ පිළිබඳව දෙන ලොරි ටෝක් ඇසූවිට, එයින් හය හත් දෙනෙක් මානසික ප්‍රතිකාර සඳහා ද අනෙක් කිහිප දෙනා නාසා ආයතනයේ උපදේශකයන් වෙත මේ සඳ ගැන ටියුෂන් ලබාදීමට ද යැවිය හැකිය.

වැඩි කලබලයක් විය යුතු නැත. හෙට පුන් පොහෝ දිනයය. එදින සන්ධ්‍යාව වන විට අප දන්නා කියන සඳ සීන් එකට එනවා ඇත. රන්තැටියෙන් කිරි පැණි ගෙන, අප පැටි සමයේ සැනසුවේ ඒ සඳය. නවයේ පන්තියට අප යන විට එය විදු ඇසින් අපි හැදෑරුවෙමු. තාරුණ්‍යයේදී අපගේ ආදරය, විරහව සමඟ ඒ සඳ, හදවතට එබිකම් කරන්නට පටන් ගත්තේය. මැදිවියේදී, පුන් පොහොය ලෙස අපගේ ආධ්‍යාත්මිකත්වය සඳහා පාර පෙන්වන ලද්දේ එදා සඳමය. තව ටිකක් වයසට යද්දී සතර පෝයම අපට වැදගත් විය. එදා සඳ අනුව අප ජීවිතය හැඩ ගස්සා ගෙන ඇති තරම මෙසේ හෙයින්, අර ආකාරයට කොහේ හෝ යන ග්‍රාහකයක් සඳක් ලෙස එන්නේ යැයි කියන විට අප කලබල විය යුතු නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT