මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දී තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහත්වරුන් වෙත ලිපියක් යොමු කරමින් අගමැතිවරයා ඊයේ (13) මෙලෙස උපදෙස් දී ඇත.
ආහාර සුරක්ෂිතතාව හා ආර්ථික පුනර්ජනනීය කමිටු හරහා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පද්ධති මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන හා කෘෂිකර්ම කමිටු හරහා අතරමැදි කන්නයක් ලෙස ඉපනැල්ලේ මුං වගාව සඳහා ගොවීන් දැනුවත් කරමින් උනන්දු කරවීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතා සාර්ථක මුං අස්වැන්නක් වෙළඳපොළට පැමිණෙමින් පවතින අතර, ඒ සඳහා දැනට ඉතා සාධාරණ තොග මිලක් පවතින බව දිස්ත්‍රික් ලේකම්වරුන් වාර්තා කර ඇත.
“ඉදිරි සති කිහිපය තුළ මුං ඇට අස්වනු විශාල ලෙස වෙළෙඳපොළට ප්‍රවිෂ්ට වීමත් සමඟ මේ වෙළෙඳපොළ මිල ගණන් පහත හෙළමින් ගොවීන් අසරණභාවයට පත් වීම වළක්වා ලීමට අප විසින් කඩිනම් මැදිහත් වීමක් සිදු කළ යුතුව ඇතැයි නිරීක්ෂණය කරමි. එබැවින් කඩිනමින් මුං ඇට සඳහා සහතික මිලක් ස්ථායිකරණය කිරීමට ඔබ අමාත්‍යංශ විසින් සාකච්ඡා කොට ප්‍රකාශයට පත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි” යනුවෙන් අගමැතිවරයා සිය ලිපියෙන් අවධාරණය කර සිටී.