Home » දෙරට සබඳතා තර කිරීමට චීනය හා ඉන්දියාවේ එකඟතාව

දෙරට සබඳතා තර කිරීමට චීනය හා ඉන්දියාවේ එකඟතාව

by chanaka
September 14, 2024 3:32 pm 0 comment

ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා එක්ව ක්‍රියා කිරීමට චීනය හා ඉන්දියාව එකඟතාව පළ කරයි.

චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ඉන්දීය ජාතිකාරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අතර රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නග‍රයේ පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාව පළ විය.

දේශසීමා කරුණු සම්බන්ධයෙන් පැවති මෑතකාලීන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ. චීන-ඉන්දීය සබඳතාවන්හි ස්ථාවරත්වය දෙරටේ මෙන්ම කලාපයේ සාමය හා සංවර්ධනයට ඉතා වැදගත් බව දෙපාර්ශ්වයේ විශ්වාසය යි. අන්‍යෝන්‍ය අවබෝධය හා අඛණ්ඩ සන්නිවේදන පවත්වා ගනිමින් දෙරට සබඳතා වර්ධනය වෙනුවෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද එහිදී අවධාරණය කෙරිණ.

එම සාකච්ඡාවේ දී අදහස් දැක්වූ වං යී මහතා පැවසුවේ, චීනය සහ ඉන්දියාව තම ස්වාධීනත්වයන් රැක ගනිමින් එකමුතු බව හා සහයෝගිතාව සහතික කළ යුතු බවයි. එසේම, පෙරදිග ශිෂ්ටාචාර සතු දෙරට එකිනෙකාට හානි සිදුකර ගැනීමෙන් වැළකිය  යුතු ය.  චීන-ඉන්දීය සබඳතා යළිත් වරක් යහපත් හා ස්ථාවර සංවර්ධන මාවතකට රැගෙන ආ යුතු බව ද වං යී මහතා පැවසීය.

ඉන්දීය ජාතිකාරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා එහිදී  කියාසිටියේ, ඉන්දියාව හා චීනය ස්වකීය හා පොදු සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමු කළ යුතු බවයි. බිලියන 2.8 ක දෙරට ජනතාවගේ ශීඝ්‍ර සංවර්ධනය ලෝකය වෙනස් කිරීමට හේතුවනු ඇතැයි ද හෙතෙම කියාසිටියේය.

ශාන්ත පීටර්ස්බර්ග් නග‍රයේ පැවති, බ්‍රික්ස් සංවිධානයේ ආරක්ෂක කරුණු පිළිබඳ උසස්  නිලධාරීන්ගේ රැස්වීමට පරිබාහිරව මෙම සාකච්ඡාව පැවැත්විණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT