ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පෙරේදා වසා දමන ලද්දේ සම්පත් හිඟයක් ආදිය නිසා නොවේ. දේශපාලන වශයෙන් උදම් වන්නට පටන් ගත් එක් පිරිසකට සිය ප්‍රතිවාදියා තමන්ගේ පාඩුවේ සිටීම දරා ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙසය. සරසවි දේශපාලනය යනු පාර්ලිමේන්තුව සඳහා යන මට්ටමේ යමක් නොවේ. ඉගෙනීම අතරේ ශිෂ්‍යයන් කෙරෙහි ඇති සමාජ සංවේදීභාවය සහ ශිෂ්‍ය අයිතිවාසිකම් ප්‍රකට කිරීමක් ලෙස විශ්වවිද්‍යාල සමයේ දේශපාලනය හැඳින්විය හැක්කේය.
එය එක්තරා ආකාරයකට ක්‍රියාකාරී දේශපාලනය සඳහා මුල්ගල තැබීමකි.
සරසවි දේශපාලනය ලෝකය පුරා බරපතළ දේශපාලන පෙරළි ඇති කරන ලද්දේ එකිනෙකා මරාගෙන නොවේ.
1968 මැයි මාසයේ ආරම්භවූ පැරිස් නගරයේ ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය, සමස්ත ප්‍රංශ ජනතාවගේ හඬ නියෝජනය කළේය. චීනයේ තියානමන් චතුරශ්‍රයේ එවැනි ශිෂ්‍ය කලබගෑනියක් ඇතිවන්නේ 1989 වසරේය. දකුණු අප්‍රිකාවේ ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය වනාහි, එහි පැවති අපාර්ථෙයිඩ් පාලනයට එරෙහිව 1976 වසරේ දියත්වූවකි.
ලෝකය පුරා මේ ආකාරයට ඒ රටට අනන්‍ය වූ ශිෂ්‍ය ව්‍යාපාරය දේශපාලනයේ යෙදුණේය. එසේම මෙම ප්‍රවණතාව අනුව වෙනත් රටවල බුද්ධි සේවා විසින් ශිෂ්‍යයන් කුළුගන්වා පාරට බැස්සූ ආකාර ද සිහිපත් කළ හැක්කේය.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වසා දමන ලද්දේ මේ කිසිදු හේතුවක් නිසා නොවේ. අනවශ්‍ය ආකාරයේ බලාපොරොත්තු මත තමන් පුම්බා ගත් වන, අනෙකා මත පීඩනය යෙදීමට සමහර නරුම දේශපාලන පිරිස් කැමැත්තේය. ඒ ආකාරයට මේ කාලයේ ෆෝම් වී ඇත්තේ රතු අමාරුකාරයන්ය.
ජාතික පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයකදී ඇතිවූ කලබලය එවැන්නකි.
‘රට බෙදන, බුදු සසුන වනසන, රණවිරුවන් පාවාදෙන, වර්ග වාදයට උඩගෙඩි දෙන, විදෙස් බලවේගයන්ට රට පොරපිටියක් කරන, ජනාධිපතිවරණයේ ව්‍යාජ රංගනය අභිමුව රට හමුවේ ඇති සැබෑ අභියෝග’ යන මාතෘකාව යටතේ දේශප්‍රේමී ජාතික පෙරමුණේ නීතීඥ නුවන් බැල්ලන්තුඩාව සිය කතාව පවත්වාගෙන යද්දී, එය මැද්දට පැන පිරිසක් විරෝධය පළ කරන්නට පටන් ගත්හ. එතැන් සිට වැඩේ ගැටුමකි.
දිවයින පුවත්පතේ මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය දේශපාලන විචාරීය ග්රන්ථයක් පළ කළේය. හෙතෙම එය සම්මන්ත්‍රණයක් සහිතව එළිදැක්වීම සඳහා කටයුතු යෙදවූයේය. මැතිවරණ කොමිසමට කරුණු දක්වා, එම සම්මන්ත්‍රණය නවත්වා දැමීමට පිරිසක් කටයුතු කළහ.
ඉන් පසු එරික්ගේ වැඩ තහනම් කරන ආස්ථානය දක්වා ඔහු සේවය කරන පුවත්පත් කාර්යාලයේ කොන්ද බිඳ දැමුවේය. එහි බලධාරීහු තමන්ගේ කොන්ද පැත්තක දමා පක්ෂ වන්දනාවේ නිරත වන්නේ බැවින්, මාධ්‍යවේදියා විසි එක් වැනිදායින් පසුව සේවයට ගන්නා පදනම පිට වැඩ තහනම් කර ඇත්තේය. එරික්ගේ රැකියාව ඡන්දයේ ප්‍රතිඵලය අනුව තීරණය කරන ආස්ථානය දක්වා තල්ලු වෙන්නේ, අතරමැදි කාලයේදී පිම්බී සිටින සමහර දේශපාලන පපඩම් සඳහා ඇති බිය හේතුවෙනි.
මේ සිද්ධි තුන විස්තර කළ හැක්කේ බලයට ඒ යැයි තමන් විසින්ම තමන් අන්දාගෙන සිටින පිරිසකගේ ක්රියාකලාපයක් ලෙසය.
මේ පිළිබදව සඳහන් කරනුයේ, යම් පක්ෂයක් සඳහා, අවලාද නැගීමේ අදහසින් නොවේ. පක්ෂ නායකයෝ සහ එහි ප්‍රධාන චරිත මෙවැනි දේ සඳහා අතිශය අකැමැති විය හැක්කේය. එසේ වුවත් සමහර ‘යට ලයින්’ පක්ෂයේ ද සායම යවා ඔය ආකාරයට රඟ දෙන්නේය.
ඊයේ පෙරේදා සාමාන්‍ය වතු රැස්වීමක් පැවතියේය. ඒ අසලින් යන කසිප්පු අඩියක් ගසාගත් හැට පැන්න අයෙක් රැස්වීමේ සිටි කථිකයාට හඬ නඟා පිළිතුරු දුන්නේය. වලියක් ඇදුණේය. වහාම ක්‍රියාත්මක වූ අයෙක් එය හඳුන්වන ලද්දේ පක්ෂ දෙකක් අතර ගැටුමක් ලෙසය.
මේ කාලයේ පරිස්සම් විය යුත්තේ ඔය නිසාය. වෙනදා මෙන් බයට කතිරය ගසනා පිරිස් දැන් නැත්තේය. ප්‍රචණ්ඩ ක්‍රියා ආපස්සට හැරීම සඳහා යන්නේ දින දෙක තුනකි. අරගලයෙන් ගාලුමුවදොර අල්ලාගෙන සිටි කණ්ඩායමට මුහුණදීමට නොහැකිව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටෙන් බැහැර ගියේය. දින කිහිපයකින් අරගල කණ්ඩායම ද ගුටි කාගෙන ගාලුමුවදොරින් නික්ම ගියහ. ගෝඨාභය පාලනය නිමා කිරීමේ වගකීම ගැනීම සඳහා හෝ අද කෙනෙක් නැත.
අනික් අතට අද කාලයේ බයෙන් ත්‍රස්ත වූ විට සමාජය තෝරා ගන්නේ බය කරන්නාගේ පැත්ත නොවේ. ත්‍රාසයට ලක්වන්නාගේ පාර්ශ්වයය. මේ දිනවල හැම පක්ෂයක්ම එක් ඡන්දයක් හෝ වැඩි කර ගැනීමේ අපේක්ෂාවෙන් පෙළෙනවා මිස, අඩු කර ගැනීමට යන්නේ නැත. එහෙව් කාලයක පහළ සිටින ‘ඔටෝ චූන්ලා’ වහාම සරම පහළට දමාගෙන පාරේ යා යුතුය. එසේ නොකරන දඟයෝ, කටකලියාවන් දමා හෝ මෙල්ල කර ගැනීම අදාළ පක්ෂ සඳහා භාරය.
මැතිවරණය කියන්නේ ඡන්දය දවස පමණක් නොවේ. පෙර සහ පසු යුගය ගණනය වන්නේ ද මැතිවරණ කාලයටය. ඡන්දය ආසන්න වන විට සමහරුන්ගේ රතු කට්ට පැනීම සිද්ධ වන්නේ හෙයින්, සමාජයක් ලෙස, ඒ ගණය නියෝජනය කරන පක්ෂය ප්‍රතික්ෂේප වෙනවා ඇත්තේය.
විශ්වවිද්‍යාලයේ, පාරේ, බසයේ හෝ ගෙවල් අහල පහලදී දේශපාලන උණවලදී, යමෙක් වෙවුලා යන විට එය ඔහු නියෝජනය කරන බලවේගයට අප්සමාරය බවට පත්වෙනවා ඇත.