Saturday, April 19, 2025
Home » ඉන්දීය ආර්ථිකයට කෝටි 42,171ක ප්‍රතිලාභයක්
පසුගිය වසරේ එක්දින ලෝක කුසලානයෙන්

ඉන්දීය ආර්ථිකයට කෝටි 42,171ක ප්‍රතිලාභයක්

රැකියා 48,000ක් දීලා: ලක්ෂ 12.5ක ටිකට් විකිණිලා

by mahesh
September 13, 2024 12:58 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ඉන්දියාවේ පසුගිය වසරේ පැවැති එක්දින ලෝක කුසලානයෙන් ඉන්දීය ආර්ථිකයට රුපියල් කෝටි 11,736ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 42171ක) ප්‍රතිලාභයක් ගෙනදී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ වාර්තාවකින් අනාවරණය වෙයි. එම ලෝක කුසලාන තරගාවලියේදී පූර්ණ කාලීන සහ අර්ධකාලීන රැකියා 48,000ක් පමණ ලබාදුන් බවද එම වාර්තාවේ සඳහන් වේ.

ලක්ෂ 12.5ක ජනතාවක් ක්‍රීඩාංගණයට ගොස් තරග නරඹා ඇති අතර, ඉන් 75%ක පමණ ප්‍රේක්ෂකයන් පැමිණ සිටියේ පළමු වරට එක්දින ලෝක කුසලාන තරගය නැරඹීමට බව තහවුරු කොට ඇත. ලෝක කුසලාන තරගාවලිය නැරැඹීම වෙනුවෙන්ම විදේශිකයන්ගෙන් 19%ක් පළමු වරට ඉන්දියාවට පැමිණ සිටි අතර, එම සංචාරකයන්ගේ පැමිණීමෙන් ඉන්දියාවේ සංචාරක ගමනාන්තවලටද ප්‍රතිලාභ ලැබිණි. ලෝක කුසලාන තරගාවලියේදී සංචාරකයන්ගේ පැමිණීමෙන් රුපියල් කෝටි 2,361ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 8484ක) ලාභයක් ඉන්දියාව උපයා ඇත. ලෝක කුසලාන තරගාවලිය පැවති දින 45ක පමණ කාලය තුළ ක්‍රීඩාංගණ සහිත නගර රුපියල් කෝටි 2132ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7661ක) ලාභයක් උපයා ඇතැයි ගණන් බලා තිබේ.

ලෝක කුසලාන සියලු තරග ඉන්දියාවේ පැවති අතර අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදවා ඔස්ට්‍රේලියාව ශූරතාව දිනා ගත්තේය. අවසන් පූර්ව වටය දක්වා පැවති තරග 10ම ඉන්දියාව ජයගෙන තිබුණත්, අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය විය.

අයිසීසීය සඳහන් කරන්නේ නිව්යෝර්ක්හි පිහිටි නෙල්සන් සමාගම අයිසීසීයෙන් හා ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ලබාගත් තොරතුරු මත මේ පර්යේෂණ වාර්තාව සකස් කර ඇති බවය‍. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවති ක්‍රීඩාංගණ වැඩිදියුණු කිරීම සහ තරගාවලිය සඳහා නව පහසුකම් ලබාදීම මඟින් ඉන්දියාවේ ව්‍යාපාරික අංශයට විශාල වාසියක් ඇතිවූ බව පැහැදිලි කොට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT