නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) ක්‍රිකට් තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි ගාල්ල කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු පරාජය අත්කර දීමට කොළඹ පිල ඊයේ සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ 9 වැනි තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කොළඹ පිල දුන් ලකුණු 229ක ඉලක්කය හමුවේ ගාලු කණ්ඩායමට ඕවර 32.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 101ක් පමණි.
ඒ අනුව අඛණ්ඩව තරග 3ක් ජය ගෙන සිටි ගාලු පිලට ඊයේ ලකුණු 127ක පරාජයක් අත්වූ අතර, කොළඹ පිල තරග 4කදී අත්කරගත් තෙවැනි ජය මෙයයි. සනෝජ් දර්ශික රැස් කළ ලකුණු 32 ගාලු ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ගාලු ඉනිම බිඳ දැමූ 23 හැවිරිදි කවිඳු නදීෂාන් ලකුණු 33කට කඩුලු 5ක් දවා ගත්තේ සිය තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමිනි. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් තරග බිමට පිවිසි කවිඳු මින් පෙර ලකුණු 25කට කඩුලු 4ක් දවා ගැනීම ‘ඒ’ කාණ්ඩයේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් කර තිබුණි.
දඹුල්ල යළිත් පරදී
මේ අතර දඹුල්ල කණ්ඩායමට තරගාවලියේ අඛණ්ඩව සිව්වැනි පරාජය අත්කර දීමට යාපනය කණ්ඩායම ඊයේ සමත් විය. හම්බන්තොට පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් යාපනය පිල කඩුලු 7ක් දැවී ලකුණු 312ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස දඹුලු පිලට ඕවර 42.2කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 242ක් පමණි.
ගයන වීරසිංහ 84ක් සහ පුලිඳු පෙරේරා ලකුණු 49ක් රැස් කළ ද දඹුලු ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණත් නොවීය. පන්දු යැවීමේදී තවීෂාන් විතුෂන් කඩුලු 3ක් සහ කල්හාර සෙනෙවිරත්න කඩුලු 2ක් දවා ගත්හ. පළමුව පන්දුවට පහරදුන් යාපනය පිල වෙනුවෙන් සිය තරග දිවියේ ඉහළම ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 112ක් එක් කිරීමට 23 හැවිරිදි මොහොමඩ් ශමාස් සමත් විය. කොළඹ සහිරා විදුහලෙන් පිටියට පිවිසි ඔහුගේ දෙවැනි ‘ඒ’ කාණ්ඩයේ ශතකය මෙයයි. හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟ සිය ලකුණු සංඛ්‍යාව රැස් කළ ශමාස්ට වැය වූයේ පන්දු 86ක් පමණි. රොන් චන්ද්‍රගුප්ත පන්දු 68කින් ලකුණු 72ක් සහ රවිඳු සෙම්බුකුට්ටි පන්දු 32කින් වේගවත් ලකුණු 58ක් ඉනිමට එක් කළහ.
කොළඹට ලකුණු 127ක ජයක්
කොළඹ – 228/9 (ඕවර 50) අවිශ්ක ප්‍රනාන්දු 44, අශේන් බණ්ඩාර 33 (අකිල ධනංජය 47/3, දුනිත් වෙල්ලාලගේ 43/2, සනෝජ් දර්ශික 48/2)
ගාල්ල – 101 (ඕවර 32.4) සනෝජ් දර්ශික 32 (කවිඳු නදීෂාන් 33/5, චරිත් අසලංක 4/2, දිලුම් සුදීර 24/2)
යාපනයට ලකුණු 70ක ජයක්
යාපනය – 312/7 (ඕවර 50) මොහොමඩ් ශමාස් 112, රොන් චන්ද්‍රගුප්ත 72, රවිඳු සෙම්බුකුට්ටි 58 (ගයන වීරසිංහ 36/2)
දඹුල්ල – 242 (ඕවර 42.2) ගයන වීරසිංහ 84, පුලිඳු පෙරේරා 49 (තවීෂාන් විතුෂන් 59/3, කල්හාර සෙනෙවිරත්න 36/2)