Home » ගිණුම් ලිපිකරුගේ නි‍ෙවසට අලුයම ඇතුළු වූ අයෙක් රන් ආභරණ කොල්ලකාලා

ගිණුම් ලිපිකරුගේ නි‍ෙවසට අලුයම ඇතුළු වූ අයෙක් රන් ආභරණ කොල්ලකාලා

by mahesh
September 13, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

පුද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරුගේ නි‍ෙවසට ඇතුළු වූ පුද්ගලයකු නිවැසියන් නිදා සිටියදී රුපියල් ලක්ෂ පහකට අධික මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

සොරාගෙන ගිය දේපොළ අතර පවුම් 3 1/4ක් බර මුද්දක්, මාල දෙකක් කාන්තා අත්පලඳනාවක් මෙන්ම මුදලින් රුපියල් 20,500ක් වන බව පොලිසිය සඳහන් කරයි.

පැමිණිලිකාර මීගොඩ මුතුහේන වත්තේ පදිංචි ගිණුම් ලිපිකරු පෙරේදා (10) සුපුරුදු ලෙස රැකියාවට පිටත්ව යාම සඳහා සූදානම්ව මුදල් පසුම්බිය අතට ගෙන දිගහැර බැලීමේදී පෙරදින එයට දමන ලද රුපියල් 20,500ක මුදල නැති බවට දැක ඇතැයි පොලිසිය පවසයි.

අනතුරුව නිවෙස තුළ සෝදිසියෙන් බැලීමේදී නි‍ෙවසේ ඉදිරිපස සාලයේ කොටස් තුනකින් යුත් ජනේලයේ පියනක් අඩක් විවෘත කර තිබෙන අයුරු දැක එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී යම්කිසි බලයක් යොදා ජනේලය විවෘත කර තිබෙන අයුරු දැක මෙම සිද්ධිය බිරිය සහ දරුවන්ට දැනුම් දී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

පැමිණිලිකරුගේ දියණිය එදින අලුයම හතර පමණ වනතුරු අධ්‍යාපන කටයුතුවල නියැළී ඇති අතර එකී කාලය තුළ පිටතින් කිසිදු ශබ්දයක් හෝ සිදුවීමක් නොවූ බව ඇය විසින් පැමිණිලිකරුට පවසා තිබූ බවත් ඔවුන් කාමරවල නින්දේ සිටියදී කිසියම් පුද්ගලයකු ජනේලයෙන් නි‍ෙවසට ඇතුළු වී නිදන කාමරවල තිබූ රන් භාණ්ඩ හා මුදල් පසුම්බියේ තිබූ මුදල් සොරාගෙන යන්නට ඇතැයි සැක කරන බව පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT