Home » සහන දුන්නොත් බදු වැඩි කරනවා කියූ අද දැන් සහන දෙන්න කතා කරනවා

සහන දුන්නොත් බදු වැඩි කරනවා කියූ අද දැන් සහන දෙන්න කතා කරනවා

ජනතාව ඔය බොරුවලට රැවටෙන්නේ නෑ -ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

by mahesh
September 13, 2024 1:00 am 0 comment

සිරිපුර - මදුශානි අබේසිංහ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගමටත්, රටටත් කරගෙන ආ සංවර්ධන වැඩ කොටස 2015න් පසු නතර වී ජාතික ආරක්ෂාව පිළිබඳව ජනතාවට බියක් ඇති වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ බලවත් රටවල මිනිසුන්ගේ ජීවිතය මැරිලා වැටෙන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ජීවිත ඉන් ගලවා ගැනීමට කටයුතු කළ ද කුමන්ත්‍රණකාරීන් ආණ්ඩුව බිඳ වට්ටන්නට කටයුතු කළ බව ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, පොලොන්නරුව, ගිරිතලේ ප්‍රදේශයේදී පසුගියදා (10) සවස හිටපු මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා විසින් සංවිධානය කරනු ලැබ තිබූ ජන රැලියකට සහභාගී වෙමිනි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීය.

“ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිද්ධ වූ ඉරණමමයි බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරියට සිදු වුණේ. එකම ඉරණම. හැබැයි ඒ රටට ආර්ථික ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. අපේ රටේ තිබුණු කර්මාන්ත ඒ මොහොතේ ඒ රටට රැගෙන ගියා බංග්ලාදේශය හොඳයි කියලා. අවසාන ප්‍රතිඵලය මොකක්ද, ඒ රාජ්‍යයත් කඩාගෙන වැටුණා. වෙනස ගෝඨාභය රාජපක්ෂ මහතා උපක්‍රමශීලීව ආණ්ඩුව පසුපසට ගෙන රාජ්‍ය ආරක්ෂා කළා. බංග්ලාදේශයේ සම්පූර්ණයෙන්ම රාජ්‍යය කඩාගෙන වැටුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ මහජනයාගෙන් බිහි වුණු, ගොඩනැඟුණු, දැවැන්ත දේශපාලන බලවේගයක්. අපි සංස්කෘතියක් කේන්ද්‍ර කර ගත් සමාජයක්. අපි විශ්වාස කරනවා බෞද්ධ සංස්කෘතිය ගොඩනඟාගෙන හැදිච්ච මේ රටේ, හින්දු, ඉස්ලාම්, කතෝලික, සංස්කෘතීන් ද ආරක්ෂා කළ යුතු බව. රට බෙදෙන දේශපාලන සංස්කෘතික න්‍යායෙන් අපි ඈත් වෙනවා. අද සමහර දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රතිපත්ති දිහා බැලුවාම එක්කෙනෙක්ට නොදෙවෙනි පොරොන්දු අනිත් එක්කෙනා දෙන්නේ. එක්කෙනෙක් පනස් දාහක් දෙනවා කීවොත්, අනෙක් කෙනා ලක්ෂයක් දෙනවා කියනවා. තව කෙනෙක් විසිපන්දාහක් වැඩි කරනවා කිව්වොත්, අනෙක් කෙනා පනස් දාහක් වැඩි කරනවා කියනවා. ඡන්දෙ ළං වෙන කොට එක, එක, එව්වගේ මිලත් අඩු වෙනවා. මෙච්චර කල් පඩි වැඩි වුණොත් බද්ද සියයට හතරකින්, පහකින්, වැඩි කරන්න ඕනෑ කිව්ව අය මෙච්චර කල් විදුලි බිල අඩු කළොත් බදු වැඩි කරන්න ඕන කිව්ව අය, අද හුදෙක් ඡන්ද ලබා ගන්න ඉදිරිපත් වී ඉන්න අය හිතනවා ඒ කට්ටිය බුද්ධිමත්, රටේ මිනිස්සු බුද්ධිමත් නෑ මෝඩයි කියලා. රවට්ට ගන්න පුළුවන් කියලා. දැන් එහෙම නෑ. අපේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. මට විශ්වාසයි මේ රටේ තරුණ පරම්පරාව, මේ රටට ආදරය කරන අම්මලා, තාත්තලා මේ රටට ද්‍රෝහී කරන පක්ෂ සමඟ එකතු වෙන්නේ නෑ කියලා. එහෙනම් මේ 21 වැනිදාට මතක තියාගන්න නාමල් රාජපක්ෂලා දෙන්නෙක් ඉන්නවා ලැයිස්තුවේ. එක්කෙනෙක් ඩුප්ලිකේට් නාමල් රාජපක්ෂ, අනිත් කෙනා ඔරිජිනල්. ඒ නිසා නම බලන්නේ නැතුව පොහොට්ටුව දිහා බලලා, මේ මාතෘ භූමිය ගොඩනඟන්න, දියුණු රටක් ගොඩනඟන්න, අප සමඟ අත්වැල් බැඳගන්න කියා මා ඉල්ලා සිටිනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT