Home » ජනපතිවරණයට සමීප විය යුතු කාන්තා නියෝජනය

ජනපතිවරණයට සමීප විය යුතු කාන්තා නියෝජනය

by mahesh
September 13, 2024 1:00 am 0 comment

අතීතයේ සිටම ලංකා පාර්ලිමේන්තුව නියෝජනය සඳහා කාන්තාවන්ගේ ඉදිරිපත්වීම ඉතාමත්ම අල්ප විය. කෙසේ වෙතත් තම ස්වාමිපුරුෂයා හෝ තම සහෝදරයා හෝ ළඟම ඥාතිවරයා මිය යාමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ ආසනය අහිමිවීමෙන් පසු ඒ සඳහා තම භාර්යාවක්, සහෝදරියක් හෝ ළඟම ඥාතිවරියකු එම පුරප්පාඩුවට පැවති අතුරු මැතිවරණ සඳහා ඉදිරිපත්වීම සිරිතක් වශයෙන්ම සිදුවිය. මියගිය මන්ත්‍රීවරයාගේ ඇවෑමෙන් ඉදිරිපත් වූ තම භාර්යාව හෝ ඥාතිවරයා බොහෝවිට එම අසුන ජයගත්තේ මියගිය අය ගැන ජනතාව දැක්වූ අනුග්‍රහය හෝ අනුකම්පාව නිසාය. එම ආසන අහිමි වූ දේශපාලකයාගේ සැලකිල්ල උරගා බැලීම සඳහාත් මෙම අතුරු මැතිවරණ බොහෝ සෙයින් ඉවහල් විය.

ඒ අනුව කල්පනා කිරීමේදී අතුරු මැතිවරණය යනු එදිනට ක්‍රියාත්මක පාලක ආණ්ඩු පක්ෂයේ ශක්තිය ද උරගා බලන ක්‍රමවේදයක් ලෙස ජනතාව ද හැඳින්වූවා පමණක් නොව එම අතුරු මැතිවරණය සඳහා මුළු ලංකාවේම පැවතියේ සියලු දෙනාගේම අවධානය යොමු වූ කරුණක් ලෙසය.

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය දෙස බලන විට ලංකාවේ පළමුවන අතුරු මැතිවරණය 1931 නොවැම්බර් මස 11 වැනි දින “රුවන්වැල්ල” ආසනය සඳහා පවත්වා ඇත.

එයට හේතු වී ඇත්තේ “රුවන්වැල්ල” ආසනය නියෝජනය කළ හෙන්රි මීදෙණිය මහතා පාර්ලිමේන්තුවට පත්වී සිව් මසක් ගතවීමටත් පෙර හදිසියේ අභාවප්‍රාප්ත වීමය. එනිසා ඒ සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට අග්‍රාණ්ඩුකාරවරයා තීරණය කළේය.

ඒ අනුව එම අතුරු මැතිවරණය සඳහා ඇයගේ දියණිය වූ ඇඩ්ලින් මොලමුරේ මහත්මිය ඉදිරිපත් වූවාය.

එම අතුරු මැතිවරණයේදී එවකට දේශපාලන මහා බලවතෙක් වූ හිටපු කථානායක ඒ.‍එෆ්. මොලමුරේ මහතාට ගරු කිරීමක් වශයෙන් ජනතාව විසින් ඇය වැඩි ඡන්දයෙන් එම ආසනය සඳහා තෝරා පත්කර ගනු ලැබූහ.

මොලමුරේ පරපුර

එම මැතිවරණයේදී ඇඩ්ලින් කුමාරිහාමි මොලමුරේ මහත්මිය ඡන්ද18866ක් ලබාගත් අතර, ඇය සමඟ තරගයට පැමිණි ආර්. එස්. එස්. ගුණවර්ධන මහතාට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 4498ක් පමණි. ඒ අනුව ඇඩ්ලින් කුමාරිහාමි මහත්මිය වැඩි ඡන්ද 9368කින් එම අසුන ජයග්‍රහණය කළාය. එම කාලයේදී ද පෞද්ගලික සැලකිලිමත් භාවය නිසා මොලමුරේ පරපුරේ කුමාරිහාමි මහත්මියට පාර්ලිමේන්තුවට යාමට වරම් ලැබුණාය.

එයට පසු ලංකා පාර්ලිමේන්තුවේ දෙවැනි අතුරු මැතිවරණය පවත්වන ලද්දේ උතුරු කොළඹ ආසනය සඳහාය. එය පවත්වන ලද්දේ එම ආසනය නියෝජනය කළ දොස්තර රත්නජෝති සරවනමුත්තු මහතා සිවිල් අයිතිවාසිකම් කඩ කිරීමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දෙන ලද නඩු තීන්දුවකින් පසු එම අසුන අහිමිවීම නිසාය. එම අසුන සරවනමුත්තු මහතාට අහිමිවීම නිසා ඒ සඳහා අතුරු මැතිවරණය පවත්වන ලද්දේ 1932 මැයි මස 28 වැනිදාය. එම අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ සරවනමුත්තු මහතාගේ භාර්යාවයි. ඇය සමඟ එම අතුරු මැතිවරණය සඳහා තරග කළේ එවකට නමක් දිනා සිටි එම්.එල්.එම්.රොයාල් මහතාය. එම අතුරු මැතිවරණයේදී සරවනමුත්තු මහත්මිය ඡන්ද 13114ක් ලබාගත් අතර රොයාල් මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 4413ක් පමණි. එහිදී සරවනමුත්තු මහත්මිය රොයාල් මහතාට වඩා වැඩි ඡන්ද 8701ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

එම මැතිවරණයේදී සරවනමුත්තු මහත්මියගේ ජයග්‍රහණය සඳහා ඔහුගේ ස්වාමිපුරුෂයා වූ සිවිල් අයිතිවාසිකම් කඩ කිරීමක් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබා දී තිබූ සරවනමුත්තු මහතා ඇයගේ මැතිවරණ කටයුතුවල නිරතවීම නිසා සරවනමුත්තු මහත්මියටත් විරුද්ධව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් විය. එම ඡන්ද පෙත්සම් විභාගයේදී සරවනමුත්තු මහතාගේ ක්‍රියාකලාපය නිසා නැවතත් සරවනමුත්තු මහත්මියට ද එම අසුන අහිමි විය.

එම හේතුව නිසා නැවතත් උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාසය සඳහා 1932 මැයි මස 28 වැනි දින නැවත අතුරු මැතිවරණයක් පැවැත්වීමට රජය මගින් කටයුතු කරනු ලැබීය.

පසු එම අතුරු මැතිවරණය සඳහා ද සරවනමුත්තු මහත්මිය ඉදිරිපත් වූයේ තම ස්වාමිපුරුෂයාගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහාත් ඡන්ද දායකයන් තමන්ට දක්වන ලද විශ්වාසය කෙරෙහිත් සැලකිල්ල යොමු කරමිනි.

ප්‍රථම ද්‍රවිඩ කාන්තා මන්ත්‍රීවරිය

එම අතුරු මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර කැඳවූ අවස්ථාවේදී ඒ සඳහා සරවනමුත්තු මහත්මිය සමඟ එම්. වී. කාසිචෙට්ටි මහතා ද නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කෙරිණ.

අනතුරුව 1932 නොවැම්බර් 12 දින පැවති අතුරු මැතිවරණයේදී සරවනමුත්තු මහත්මිය ඡන්ද 8106ක් ලබාගත් අතර කාසිචෙට්ටි මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 376ක් පමණකි. එනිසා සරවනමුත්තු මහත්මිය නැවතත් වැඩි ඡන්ද 7730ක් ලබාගෙන උතුරු කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස දිවුරුම් දුන්නාය. ඒ අනුව ඇය පාර්ලිමේන්තුවට පත් වූ ප්‍රථම ද්‍රවිඩ කාන්තා මන්ත්‍රීවරිය මෙන්ම එකම ද්‍රවිඩ කාන්තාව බවටද පත්වුවාය.

1947දී ප්‍රථම පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී “අවිස්සා‍වේල්ල” ආසනයට ඉදිරිපත් වී ජය ලබාගත් පිලිප් ගුණවර්ධන මහතාට වැඩ වර්ජනයක් මෙහෙයවීම නිසා සිරදඬුවමක් විඳීමට අධිකරණ නි‍යෝගයකින් සිදු වූ බැවින් එතුමාට ද “අවිස්සාවේල්ල” ආසනය අහිමි විය.

පිලිප් ගුණවර්ධන මහතාට එම ආසනය අහිමිවීම නිසා රජය මගින් එම ආසනය සඳහා 1948 අප්‍රේල් මස 19 වැනි අතුරු මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවූ අතර ඒ සඳහා පිලිප් ගුණවර්ධන මහතාගේ භාර්යාව වන කුසුමා ගුණවර්ධන මහත්මිය නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළත්, වෙනත් කිසිම අයෙක් ඒ සඳහා නාම යෝජනා පත්‍ර බාරනොදීම හේතුවෙන් කුසුමා ගුණවර්ධන මහත්මිය එම අසුන නිතරගයෙන්ම අත්පත් කරගත්තාය.

1952 දී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී “වැලිමඩ” ආසනය ජයග්‍රහණය කළේ කේ. එම්. පී. රාජරත්න මහතාය. 1956 දී ද “වැලිමඩ” ආසනය ජයග්‍රහණය කළේත් කේ.එම්.පී. රාජරත්න මහතාමය.

කාන්තා නියෝජනය ව්‍යාප්ත වීම

එහෙත් 1952 පැවති මහා මැතිවරණයේදී කේ. එම්. පී. රාජරත්න මහතා මැතිවරණ නීති අනුව ඉදිරිපත් කළ යුතුව තිබූ මැතිවරණ වියදම් නිසි පරිදි ඉදිරිපත් කර නොතිබීම නිසා 1956 දී පවා පාර්ලිමේන්තුවේ “වැලිමඩ” ආසනය නියෝජනය කළ කේ.එම්.පී. රාජරත්න මහතාගේ ආසනය අධිකරණය මඟින් අහිමි කරන ලදි.

ඒ අනුව “වැලිමඩ” ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට රජය මඟින් කටයුතු කළේය.

අධිකරණ තීන්දුව පරිදි “වැලිමඩ” ආසනය සඳහා අතුරු මැතිවරණයක් පවත්වා මන්ත්‍රීවරයෙකු තෝරා පත්කර ගැනීමට නාම යෝජනා කැඳවූ අතර, අතුරු මැතිවරණය 1957 සැප්තැම්බර් මස 07 වැනි දින පැවැත්වීමට ද තීරණය විය.

එම අතුරු මැතිවරණය සඳහා කේ. ඇම්. පී. රාජරත්න මහතාගේ භාර්යාව වූ කුසුමා රාජරත්න මහත්මිය ජාතික විමුක්ති පෙරමුණු ලාංඡනය යටතේ තරග කළ අතර, ඇයගේ ප්‍රතිවාදියා ලෙස මහජන එක්සත් පෙරමුණේ එම්. බී. ඒ. ජයසුන්දර මහතාත් තරග කළේය.

එම අතුරු මැතිවරණයේදී කේ. එම්. පී. රාජරත්න මහතාට තම භාර්යාවට කිසිම දේශපාලන සහයෝගයක් ලබාදීමට අධිකරණ නීති නිසා නොහැකි විය. එහෙත් 1957 සැප්තැම්බර් මස 07 වැනි දින පැවති “වැලිමඩ” අතුරු මැතිවරණයේදී කුසුමා රාජරත්න මහත්මිය ඡන්ද 14069ක් ලබාගත් අතර, ඇය සමඟ තරග කළ එම්. බී. ඒ. ජයසුන්දර මහතාට ලබාගත හැකි වූයේ මහජන ඡන්ද 2616ක් පමණකි. ඒ අනුව වැඩි ඡන්ද 11453කින් කුසුමා රාජරත්න මහත්මිය එම අසුන ජයගත්තේ තම ස්වාමිපුරුෂ‍යාගේ ගෞරවය ද ආරක්ෂා කර ගනිමිනි.

මෙසේ ක්‍රමයෙන් පාර්ලිමේන්තුව සඳහා කාන්තා නියෝජනය ව්‍යාප්ත වී ගිය අතර, හිටපු වාරිමාර්ග අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිය වන ශ්‍රීමා දිසානායක මහත්මිය 1977දී ඩබ්ලිව්.එම්. විමලරත්න මහතාගේ අභාවයෙන් පසු ඒ මහතාගේ භාර්යාව අමරා පියසීලි රත්නායක, එම වසරේදීම එස්. ද එස්. ජයසිංහ මහතාගේ අභාවයෙන් පසු සුනේත්‍රා ජයසිංහ රූපසිංහ, 1982දී බන්දුල සේනාධීර මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිය දයා සේපාලි සේනාධීර, 1987දී ත්‍රස්තවාදී ප්‍රහාරයකදී අකාලයේ මිය ගිය කීර්ති අබේවික්‍රම මහතා වෙනුවට ඇයගේ සහෝදරිය වන කීර්තිලතා අබේවික්‍රම, 1983දී කේ.ටී. පුලේන්ද්‍රයන් මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිය වන රාසමනෝහරී පුලේන්ද්‍රන් මහත්මිය පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය. අනතුරුව 1993 දී ලලිත් ඇතුළත්මුදලි මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ භාර්යාව වන ශ්‍රීමනී ඇතුළත්මුදලි, 1991දී මුදියන්සේ තෙන්නකෝන් මහතාගේ මරණින් පසු ඔහුගේ දියණිය වන සෝමා කුමාරි තෙන්නකෝන්, 1994දී නන්ද එල්ලාවල මහතාගේ මරණින් පසු ඔහුගේ භාර්යාව වන සුරංගනී එල්ලාවල, වර්ෂ 2000දී එම්. එච් .අෂ්රොෆ් මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිය ෆෙරියල් අෂ්රොෆ්, 2008දී ටී. මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිය විජයකලා මහේෂ්වරන්, 2008දී ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, 2002දී ගාමිණී අතුකෝරාළ මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ නැගණිය තලතා අතුකෝරළ, 2003දී භාරත ලක්ෂ්මන් මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, 2014දී සංජීව කවිරත්නගේ මරණින් පසු ‍රෝහිණී කවිරත්න, 2019දී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පසු මුදිතා ප්‍රියන්ති සොයිසා, 2019 දී නලින්ද දිසානායක මහතාගේ මරණින් පසු මංජුලා දිසානායක මහත්මියත්, තම ස්වාමි පුරුෂයන්ගේ මරණින් පසු පාර්ලිමේන්තුව නියෝජනය කළ අය වෙති.

තවද කාන්තා පාර්ලිමේන්තු නියෝජනය අතරට ලංකාවේ ප්‍රථම අගමැතිනි සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, අජන්තා පෙරේරා, කුසුම්සිරි ගුණවර්ධන, තමරා කුමාරි ඉලංගරත්න, මල්ලිකා රත්වත්ත, මල්ලිකා ද මැල්, ඩොරින් වික්‍රමසිංහ, විවියන් ගුණවර්ධන, නිරූපමා රාජපක්ෂ යන අයවලුන්ද පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

කාන්තා නියෝජනයන් සඳහා පළාත් පාලන ආයතන සඳහා 25%ක කාන්තා නියෝජනයක් තිබිය යුතු බවට තීරණය කළත් මෙතෙක් එය ක්‍රියාත්මක නොකිරීම අදටත් ප්‍රශ්නයක් වී ඇත. මෙම කාන්තා නියෝජනය ගැන සලකා බැලීමේදී විදුහල්වල, පළාත් සභා, ප්‍රාදේශීය සභා ආයතනවල, විශ්වවිද්‍යාල, ඇඟලුම් කර්මාන්ත ශාලාවල සහ සාමාන්‍ය වශයෙන් මුළු ශ්‍රී ලාංකේය ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වන බව ද නිගමනය කළ හැකිය.

ප්‍රථම අග්‍රාමාත්‍යවරිය

රටේ ජනතාව කාන්තා නියෝජනය ගැන සලකා බලනවිට 1988දී පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙත මහජනතාව ඡන්ද 2289860ක් ලබාදුන් අතර 1994දී පැවති ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට ඡන්ද 4709205ක් ද, 1994දීම ශ්‍රීමා දිසානායක මහත්මියට මහජන ඡන්ද 2715283ක් ද වශයෙන් ද ඡන්දය පාවිච්චි කර ඇති බව ද මැතිවරණ දෙපාර්ත‍මේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව පෙනෙන්නට ඇත.

කෙසේ වෙතත් පසුගිය කාලපරිච්ඡේදය තුළ ලංකාවේ කාන්තා ලියාපදිංචිය සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාත අනුව 2015 වසරේදී 11017785ක් වශයෙන්ද, 2019දී 11288193ක් ද 2024 මේ වසරේ ජූනි මාසය වන විට කාන්තා ලියාපදිංචිය 11340565ක් ද වේ.

කෙසේ වෙතත් කාන්තා නියෝජනය, සම තැන, ස්ත්‍රී – පුරුෂ භේදය ගැන රට තුළ මහත් කතා බහක් ඇති වී තිබුණද මෙවර 2024 ජනාධිපති මහමැතිවරණය සඳහා එකම හෝ කාන්තා නියෝජනයක් නොතිබීම ගැන සියලුම දේශපාලන පක්ෂ සහ විශේෂයෙන්ම දේශපාලකයන්ට කත් අදින සියලුම කාන්තාවන් ද කනගාටුවට පත්විය යුතුය.

කාන්තා අයිතිවාසිකම් ගැන මත දොඩවන කිසිම දේශපාලන පක්ෂයකට හෝ මෙවර ජනාධිපතිවරණයට එක් කාන්තා නියෝජනයක් ‍හෝ එක් නොකිරීම උභතෝකෝටික ප්‍රශ්නයකි.

රටේ ජනතාවට එක හා සමාන අයිතිවාසිකම් ඇති බව ප්‍රකාශ වෙතත් කාන්තාවන්ට එම අයිතිය මේ වනතෙක් ලැබී තිබේදැයි සියලුම දේශපාලන පක්ෂ සාකච්ඡා කළ යුතුව ඇත.

මේ අතර රටේ ජනතාවගේ අදහස වී ඇත්තේ අවම වශයෙන් පාර්ලි‍මේන්තුවේ 25%කවත් කාන්තා නියෝජනයක් ඇත්නම් මේ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට විරුද්ධව ඉදිරිපත් කරන වංචා, දූෂණ, අපරාධ, පිළිබඳව ද අඩුවක් දක්නට හැකිවිය හැකි බවත්ය.

ඒ කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම 2025 වසරේදී ලංකාවේ මහමැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව සියලුම දේශපාලන පක්ෂ අඩු – වැඩි වශයෙන් 25%ක ඡන්ද අපේක්ෂිකාවන් පිරිසක් එම මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට තීරණය කරගත යුතුව ඇත. මෙය පාර්ලිමේන්තු පනතකින් හෝ සම්මත කරගත යුතුව ඇති කාලීන ප්‍රශ්නයක් වී ඇත.

එවිට වංචාවෙන්, අල්ලසින්, දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමටද වරින්වර පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර පාර්ලිමේන්තුවේදී සිදුවන අරගල හා ගුටි -බැට හුවමාරුවීම් හා මහජන සිත් කකියවන ප්‍රකාශ පාර්ලිමේන්තු‍වේදී ප්‍රකාශ කිරීම අඩුවිය හැකි බවද මහජන අදහස වන්නේය. එනිසා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම සෑම දේශපාලන පක්ෂයක වගකීමකි.

තලල්ලේ ප්‍රඥාරත්න විදානගමාච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT