ජනාධිපතිවරණ දිනයට තව ඇත්තේ සතියකටත් අඩු කාලයකි. ජනාධිපතිවරණය නිසා සමාජයේ ඇත්තේ ඉතාමත් උණුසුම් තත්ත්වයකි. ඒ උණුසුම කෙතෙක් ද යත් අද කඩ පිලේ සිට සුපිරි වෙළෙඳපොළ දක්වා ඇසෙන්නේ එකම කතාවකි. ඒ කතාව තුළ දේශපාලන උණුසුම පිළිබඳ සමාජ අවධානය කෙසේද යන්න ගැන මනා ලෙස හඳුනාගත හැකිය. උණුසුම තවදුරටත් ඉහළ යන්නේ ලබන සතියේදීය. ජනාධිපතිවරණ සටනේ උණුසුම්ම දින කිහිපය ලබන සතියේය. එහි උපරිමය ගොඩනැඟෙන්නේ ලබන බදාදාය. බදාදායින් පසු සෙනසුරාදා දක්වා ඇත්තේ නිහඬ කාලයයි. මේ නිහඬ කාලය යනු කුමක්ද එහි අරමුණ කුමක්ද, යන්න විමසා බැලීමේදී මෙවැනි දෙයක් විමසා බැලිය හැකිය. මාසයකට වැඩි කාලයක් පුරා පැවැතියේ මැතිවරණ ප්‍රචාරණ කාලවකවානුවකි. එය අවසානයේදී ඡන්ද දායකයාට නිහඬව කල්පනා කර අවශ්‍ය තීරණය කල්පනාකාරීව ගැනීමට මෙම නිහඬ කාලය තුළ අවස්ථාව ලැබේ. එහෙත් ඒ නිහඬ කාලය තුළ පවා මැතිවරණ නීති උල්ලංඝනය කරන්නෝ සිටිති. එහි ප්‍රධානම කාර්යය ඉටු කරන්නෝ වන්නේ රහසින් කැන්වසින් යන්නන්ය. යතුරුපැදියක නැඟ ගන්නා දේශපාලන ආධාරකරුවෝ අවසාන මොහොතේදී හෝ තම අපේක්ෂකයාට වාසියක් සලසා ගැනීම සඳහා මේ කාර්යයට පෙළඹෙති. මෙය කිසිසේත්ම හොඳ දෙයක් හෝ සුදුසු දෙයක් නොවේ. එහෙත් මෙවැනි නීති කඩන්නෝ ඕනෑ තරම් සිටිති.
ජනාධිපතිවරණ ව්‍යවස්ථාවේ 70වැනි වගන්තිය තුළ නිහඬ කාල සීමාව පිළිබඳව ඇති නීතිමය පසුබිම පැහැදිලි කර තිබේ.
සිංහල අවුරුද්දේ ඇති නොනගතය මෙන් ජනාධිපතිවරණයේ නිහඬ කාලය ද වැදගත්ය. ඒ නිහඬ කාලය උල්ලංඝනය කරන්නන් වෙත තදින්ම නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරනු ලබයි. මැතිවරණ නීති කැඩීම යනු බරපතළ සිවිල් නීතී උල්ලංඝනයකි ඒ පිළිබඳව නීතිමය කරුණු සහ පියවර රැසකි.
මැතිවරණ දිනය තෙක් පමණක් නොව මැතිවරණය නිමාවී දින හතක් ගතවන තුරු මෙම නීතිය ක්‍රියාත්මකය.
මෙම කාල සීමාව තුළ කැන්වසින් යාම පමණක් නොව පෙළපාලි යාම ද කණ්ඩායම් ලෙස රැස්වී ජය පරාජය සැමරීම ද නොකළ යුතුය. දේශපාලනය පිළිබඳව උණුසුම ඉහළ ගිය අවස්ථාවක් වන ජනාධිපතිවරණ කාල සීමාව තුළ මෙම නීති නිසි ලෙස ක්‍රියාත්මක වීම මඟින් ඇති විය හැකි මහජන සාමය කඩවීමේ ක්‍රියාකාරකම් රැසක් පාලනය කිරීමට පුළුවන. එමෙන්ම අනවශ්‍ය ලෙස ඇතිවන ගැටුම්වලට මූලික කරුණ වන්නේ මැතිවරණයේ ජයග්‍රාහී පාර්ශ්වය කණ්ඩායම් ගැසීම මෙන්ම පෙළපාළි යාමය. මෙයට ආවේගය සහ මත්වීම ද එක් වූ කල තත්ත්වය පාලනය කිරීමට නොහැකි දෙයක් බවට පත්වේ.
කලක් අප රට පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉහටත් උඩින් පැවැතුණි. ජය සැමරීමට පොලිසියට නිවාඩු දුන් අතීතයක් ද පැවැතුණි. එහෙත් 1994න් පසු තත්ත්වය වෙනස් විය. ඉන්පසු ජනාධිපතිවරණ ආශ්‍රිතව සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයක් ගොඩනොනැඟුණි. 2015 දී අවුරුදු 10කට පසු බලහුවමාරුවක් සිදු විය. නැවත 2019දී විශාල ජනවරමකින් පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළේය. එහෙත් මෙම අවස්ථා දෙකේදීම සැලකිය යුතු ප්‍රචණ්ඩත්වයක් ඇති නොවුණි. ඒ පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය අගයන්නන් වෙත ඇත්තේ අපමණ සතුටකි.
මෙවැනි තත්ත්වයක් ඇති වූයේ නිහඬ කාලය තුළ නීති තදින් ක්‍රියාත්මක වීම සහ ප්‍රචණ්ඩත්වය ලැජ්ජාවට කරුණක් ලෙස සමාජ මතයක් ඇති වීමය. මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්දැයි අපි නොදනිමු. ඔබටත් මටත් පෞද්ගලික දේශපාලන මතයක් තිබීමට පුළුවන.
එහෙත් අපට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිළිබඳව විරෝධයක් හෝ සැකයක් තබා ගැනීමට නොහැකිය. අප කළ යුත්තේ නීති ආරක්ෂා කරමින් මැතිවරණ කාලය තුළ කටයුතු කිරීමය. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය නම් නිහඩ ජයග්‍රාහකයා ජයග්‍රහණය කරනු නියතය.