Home » තරුණයකු කටුනායක මුර කපොලු අස්සෙන් රිංගා ඉන්දියාවේ ගුවන්යානයකට නගින්න හදලා

තරුණයකු කටුනායක මුර කපොලු අස්සෙන් රිංගා ඉන්දියාවේ ගුවන්යානයකට නගින්න හදලා

by mahesh
September 13, 2024 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී.කපිල

කටුනායක ගුවන්තොටුපොළ මුර කපොලු තුළින් රිංගා ගොස් ගුවන් යානා අංගණය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළුවීමට තැත්කළ තරුණයකු අලුයම කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සාන්ත ජෝශප් වීදියේ පදිංචි මොහොමඩ් පවුමි මොහොමඩ් නසීර් නමැති 23 හැවිරිදි තරුණයෙකි.

මොහු දෙවරක් විදේශගත වී ඇති අතර අවසන් වශයෙන් ඔහු සිය පියා සමඟ ඉන්දියාවේ චෙන්නායි නුවර වාසය කර තිබේ.

මෙම තරුණයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ මුර කපොලු අතරින් රිංගා ගොස් ගුවන්තොටුපොළ ගුවන් යානා අංගණයේ නවතා තිබූ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා 09/12 දින අලුයම 03.45 ට පිටත්ව යාමට සූදානම් කර තිබූ ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1172 දරන ගුවන් යානයට ඇතුළු වීමට තැත් කර තිබේ. මෙම තරුණයා එම අවස්ථාවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ.

මෙම තරුණයාගේ සොහොයුරකු පොලිසිය වෙත කැඳවා සිදු කළ විමර්ශනවලදී මොහු මානසික රෝගාබාධයකින් පෙළෙමින් සිටින අතර ඔහු ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ද ලබා ගන්නා බවත් අනාවරණය කර තිබේ. එහෙත් පසුගිය මාසය තුළ මොහු එම රෝගාබාධ තත්ත්වයට අවශ්‍ය ඖෂධ ලබාගෙන නොමැති බව ද එම තරුණයාගේ සොහොයුරා වැඩිදුරටත් පවසා තිබේ.

කොට කලිසමක් සහ කමිසයක් ඇඳ සෙරෙප්පු දෙකක් දමා සිටි මෙම තරුණයා, ඉන්දියාවේ චෙන්නායි වෙත යාම සඳහා එසේ ගුවන් යානය වෙත ගමන් කළ බව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේත් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු , පොලිස් සැරයන් (38226) දිසානායක සහ පොලිස් කොස්තාපල් (85188) දිලංග යන මහත්වරු සිදුකරති.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති තරුණයා 09/12 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණය මඟින් මොහු පිළිබඳ මානසික රෝග වාර්තාවක් කැඳවීමටත් නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT