විවිධ පුද්ගලයින්ට අමානුෂික අයුරින් වදහිංසා කර ඔවුන් විඳින වේදනාව දැක කුරිරු සතුටක් ලැබීම් හා සම්බන්ධ වීඩියෝ ගේම්වලට දැඩි සේ ඇබ්බැහි වූ බාලවයස්කාර පිරිමි දරුවෙකු විසින් ඒවා අත්හදා බැලීම සඳහා සිය මවට පහර දී තුවාල සිදුකිරීමේ පුවතක් පිළිබඳ ඉංගිරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ අනුව ඉංගිරිය ප්‍රදේශයේ 10 හැවිරිදි පිරිමි දරුවෙකු සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් පවතින අතර, අදාළ දරුවා දැඩිලෙස ජංගම දුරකතනය භාවිතයට ඇබ්බැහි වී ඇති බවත්, ඔහු සවස 6.00ට පමණ වෙද්දී ජංගම දුරකතනය රැගෙන කාමරයට වැදී පසුදින පාන්දර 4.00 පමණ වනතෙක් එය භාවිතයෙහි යෙදෙන බවත්, අධ්‍යාපනයේ විශිෂ්ට දක්ෂයෙකු වන මොහු රාත්‍රීය මුළුල්ලේ අවදිව සිටීම හේතුවෙන් උදෑසන පාසල් යෑමට දැඩි මැළිකමක් දක්වන බවත් තහවුරුව ඇත.
එසේම යම් හෙයකින් ජංගම දුරකතනය ලබා නොඳුනහොත් නිවසේ බඩු බාහිරාදිය පොඩි කරමින් ඔහු දැඩිලෙස කලහකාරීව හැසිරෙන බවද පොලිසියට ලැබුණු වැඩිදුර තොරතුරුවලින් අනාවරණය වී තිබේ.
ඔහු නිරතවන වීඩියෝ ගේම්වල අන්තර්ගතය සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඒවා විවිධ පුද්ගලයින්ට අමානුෂික අයුරින් වදහිංසා කර, ඔවුන් වේදනාවෙන් කෑගසද්දී ඉන් කුරිරු සතුටක් ලබාගත හැකි ආකාරයේ ඒවා බව හෙළිවී තිබෙන අතර, පසුව මෙම පිරිමි දරුවා විසින් ඉන් එක් දර්ශනයක තිබූ ආකාරයට තම මවට විශාල ප්‍රමාණයේ ගලකින් පහර දී ඇති බවත්, ඉන් ඇයගේ කකුලකට තුවාල සිදුවීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් පොලිසිය පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කිරීමෙන් පසු ලැබුණු උපදෙස් මත අදාළ පිරිමි දරුවා පරිවාස භාරයට යටත් කිරීමටත්, පරිවාස මාර්ගයෙන් ඔහු මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමුකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටත් මේ වනවිට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව පොලිසිය පවසන අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඉංගිරිය පොලිසිය සඳහන් කළේ “ජංගම දුරකතනය පාසල් දරුවන්ට ලබාදීමේදී මවුපියන් විසින් වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතාබැලිය යුතු බවත්, දෛනික ජීවිතයේ විවිධ රාජකාරි හමුවේ කාර්යබහුල වන මවුපියන්ගෙන් දරුවන් කෙරෙහි තිබිය යුතු අවදානය ගිලිහීම මෙවන් ඛේදවාචකයන්ට මූලික හේතුව වන බවත්”ය.
සිද්ධියට මුහුණදුන් දරුවාගේ මව සහ පියා එකිනෙකාගෙන් වෙන්ව ජීවත්ව ඇති බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, මෙම දරුවාගේ ගැටලුව මූලික කරගනිමින් ඉංගිරිය පොලිසිය විසින් දිගින් දිගටම ඔවුන් දෙදෙනා වෙත සිදු කළ අවවාද සහ දැනුම්වත් කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට ඔවුන් දෙදෙනා නැවත එක්ව දිවි ගෙවීමට තීරණය කර ඇති බවත් දැන ගැනීමට ඇත.
ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතාගේ උපදෙස් පරිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩ විමර්ශන සිදුකෙරෙමින් පවතින අතර, දරුවා පිළිබඳව ඔහුගේ නිවසට ගොස් නිරන්තරව අධීක්ෂණ කටයුතු සිදුකරමින් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.