Home » පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට නොදමන්න කප්පම් අරන්

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට නොදමන්න කප්පම් අරන්

පෙම්වතා අල්ලන්න සොයයි

by mahesh
September 13, 2024 1:00 am 0 comment

අනුරාධපුර සංචාරක - සශිනි මධුෂානි

පාසල් සිසුවියක් වන තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප whatsapp group එකකට මුදාහරින බව පවසමින් බියගන්වා, වරින් වර ඇයගෙන් බලහත්කාරයෙන් රුපියල් 34,500ක මුදලක් ලබා ගෙන, තවත් රුපියල් 30,000 මුදලක් ඉල්ලා සිටි පෙම්වතෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.

පැමිණිලිකාර පාසල් සිසුවිය මිහින්තලය පොලිස් වසමේ පාසලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, මේ වසරේ මුල සිට අදාළ සැකකරු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් සිටියදී සැකකරු එක්වරම සම්බන්ධතාවය නතර කර දමා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරුව සැකකාර තරුණයා තම පෙම්වතිය වන පාසල් සිසුවියට දුරකතන ඇමතුමක් දී මුදල් ඉල්ලා කරදර කර ඇති අතර, මුදල් ලබා නොදෙන්නේ නම් ඇගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් ගෲප් එකකට මුදාහරින බවට පවසා ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

ඊට බිය වූ පාසල් සිසුවිය මිහින්තලේ නගරයේ ඇති රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය මඟින් රුපියල් 4000ක්, රුපියල් 3500ක් සහ රුපියල් 5000 බැගින් අවස්ථා පහකදී සැකකරුගේ ගිණුමට මුදල් බැර කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

මීට දින දෙකකට පෙර සැකකාර පෙම්වතා එම පාසල් සිසුවියට නැවත වතාවක් දුරකතන ඇමතුමක් ලබා දී සිකුරාදාට පෙර රුපියල් 30,000ක් ගිණුමට බැර කරන ලෙස පවසා බිය ගන්වා ඇති බවත්, පසුව අදාළ දැරිය මුදල් ලබා නොදී මේ සම්බන්ධයෙන් මවුපියන්ට දන්වා පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ ප්‍රදේශය මඟ හැර පලා ගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩි දුර විමර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT