Home » ආර්ථික සංවර්ධන ප්‍රතිලාභ භුක්ති විඳින්න රනිල් නැවතත් ජනපති විය යුතුයි

ආර්ථික සංවර්ධන ප්‍රතිලාභ භුක්ති විඳින්න රනිල් නැවතත් ජනපති විය යුතුයි

by mahesh
September 13, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

වසර දෙකක් පුරා මේ රටේ ජනතාව භුක්තිවිඳින ආර්ථික සහ සංවර්ධන ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරගැනීමට නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යළි බලයට පත් කළ යුතු බව ඊ.පී. ඩී. පී. පක්ෂයේ නායක, ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (11) කිළිනොච්චියේ පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මේ අවස්ථාවේදී අත්හදා බැලීම් සහ වෙනස්කම් සිදු කිරීමට ගියොත් ජනතාව යළිත් වරක් අඳුරු අගාධයකට ඇදවැටෙනවා. ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ ළඟා කරගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා. එම අවස්ථාව එකිනෙකාගේ මුසාබස්වලට රැවටී මඟහරවා ගත්තොත් තවත් වසර පහක් දුක් විඳීමට සිදු වෙනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින සෑම අපේක්ෂකයකුම තමන් රට සංවර්ධනය කරන බවට පුරසාරම් දොඩවනවා. නමුත් ඒ කිසිවකුටවත් රට තබා ගමක් සංවර්ධනය කරවීමටවත් අත්දැකීමක් නෑ. දේශපාලනය තුළ වඩාත්ම පරිණත බවට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී තෝරාගැනීමට උතුරේ දෙමළ ජනතාව බුද්ධිමත් විය යුතුයි.

අතීත දේශපාලනයේ සිදු වූ දේ ගැන උතුරේ දෙමළ ජනතාව යළි කල්පනා කළ යුතුයි. එදා සිටම මේ දක්වා උතුරේ ජනතාවගේ කරපිටින් ගොස් ජනාධිපතිවරුන් බවට පත් වූ පිරිස ඔවුන්ගේ පොරොන්දු අමතක කර මේ රටේ දෙමළ ජනතාව අතරමං කළා. එම දේශපලනඥයන් ජනතාව පමණක් නොව උතුරේ ආගමික නායකයන් ද හමුවී දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන බවට පොරොන්දු වී ඔවුන් ද රැවටූ ඉතිහාසය අපි දන්නවා. මේ දිනවලත් උතුරේ ආගමික නායකයන් හමුවට පැමිණෙන ජනාධිපතිවරණ අපේක්ෂකයන් බොහෝ පොරොන්දු දෙනවා. නමුත් ඒ කිසිවක් ඉටු නොවන පොරොන්දු ලෙස ජනතාව සිහියේ තබා ගත යුතුයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උතුරේ දෙමළ ජනතාවට වූ සෑම පොරොන්දුවක්ම ඉටු කරන බව මට විශ්වාසයි. එනිසා මම විශ්වාස කර උතුරේ දෙමළ ජනතාව ජනපති රනිල් යළි මේ රටේ ජනාධිපතිවරයා කිරීමට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT