Wednesday, April 23, 2025
Home » විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීමෙන් බංග්ලාදේශයේ මිලියන 5ක රැකියා අනතුරේ

විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීමෙන් බංග්ලාදේශයේ මිලියන 5ක රැකියා අනතුරේ

by mahesh
September 13, 2024 1:00 am 0 comment

බංග්ලාදේශයේ විදේශිකයන්ගේ නිෂ්පාදන හා කර්මාන්ත සමාගම්වල ආරක්ෂාව හා රටේ නීතිය හා සාමය බිඳ වැටීමෙන් විදෙස් ආයෝජකයන් රටින් ඉවත්වීමේ අවදානමක් උද්ගත වී ඇතැයි බංග්ලාදේශයේ මාධ්‍ය වාර්තා කළේය. සිය සමාගම්වල කම්කරුවන්ගේ නොසන්සුන්තාව ඉහළ යෑම හේතුවෙන් අන්තර්වාර රජය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය ද බිඳ වැටී ඇතැයි බංග්ලාදේශයේ ‘ඩේලි ස්ටාර්‘ පුවත් සේවය වාර්තා කළේය.

ඇතැම් කාර්මික ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව අඩු මට්ටමක පවතින බවත්, අනපේක්ෂිත සේවක විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට පොලිසියේ මැදිහත්වීම කෙරෙහි සැක සහිත තත්ත්වයක් ද විදෙස් ආයෝජකයන් තුළ පැන නැඟී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

පසුගියදා එරට විදේශීය සපත්තු සමාගමකට කම්කරුවන් පිරිසක් පහර දී ඇති අතර, වැටුප් ඉහළ දැමීමට බල කරමින් සේවක විරෝධතාවන් ද උත්සන්න වෙමින් පවතින බව එරට මාධ්‍ය සඳහන් කළේය. රටවල් 35ක පමණ ආයෝජකයන් 200කට අධික පිරිසක් බංග්ලාදේශයේ විවිධ ක්ෂේත්‍ර 21කට වැඩි ප්‍රමාණයක සමාගම් සහ කර්මාන්තශාලා පවත්වාගෙන යන අතර, ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන විදේශීය ආයෝජකයන් බංග්ලාදේශයෙන් ඉවත්වන්නේ නම් එම සමාගම්වල හා කර්මාන්තශාලාවල සේවය කරන මිලියන 5කට අධික සේවක පිරිසට රැකියා අහිමි වනු ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT