Wednesday, April 23, 2025
Home » මිල්කෝ සතු කිරිපිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් මිලදී ගැනීමට රජයෙන් මුදල්

මිල්කෝ සතු කිරිපිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් මිලදී ගැනීමට රජයෙන් මුදල්

by chanaka
September 13, 2024 4:19 pm 0 comment

රජයට අයත් මිල්කෝ සමාගම සතුව මේ වනවිට තිබෙන කිරිපිටි මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක තොගයක් මිල දී ගැනීමට රුපියල් මිලියන 200ක මුදලක් රජය මගින් ලබා දීමට අද (13) රැස්වූ අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වශයෙන් තමන් විසින් කරන ලද යෝජනාවට එකඟත්වය පළ කළ බවත් සතොස මගින් හයිලන්ඩ් කිරි පිටි අලෙවි කිරීමේ අරමුණ ඇතිව රජය විසින් මෙම පියවර ගෙන තිබෙන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

මිල්කෝ ආයතනය මින් පෙර පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වශයෙන් පැවතිය ද මේ වනවිට ලාබ උපයන ආයතනයක් බවට පත් කිරීමට හැකි වී ඇති බවත්, දෛනික කිරි එකතු කිරීම ලීටර් 50,000 සිට ලක්ෂ දෙක දක්වා වැඩි වී ඇති බවත් තමන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පෙන්වා දුන් බවද අමරවීර මහතා පවසයි.

විශේෂයෙන් කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා කිරි මිල දී ගත් ආයතන බොහොමයක් මේ වනවිට කිරි මිල දී ගැනීම නවත්වා ඇති නිසා කිරි ගොවීන් සතු කිරි තොග මිල්කෝ ආයතනය මගින් මිල දී ගැනීමට කටයුතු යොදා තිබේ. මේ නිසා මිල්කෝ ආයතනයේ දෛනික නිෂ්පාදනය ද ඉහළ ගොස් ඇති අතර හයිලන්ඩ් කිරි පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් එම සමාගම සතුව පවතී.

මිල්කෝ ආයතනය මගින් නිපදවන හයිලන්ඩ් කිරි පිටි මිල ද පසුගිය සතියේ සිට ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 75ක් හා කිලෝ ග්‍රෑම් එකක පැකට්ටුවක් රුපියල් 190ක් වශයෙන් අඩු කිරීමට ද පියවර ගත්තේය.

බුද්ධිකා ඉඹුලාන

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT