ත්‍රිරෝද රථයක යමින් මහමඟ නවතා තිබෙන ත්‍රිරෝද රථ හා යතුරුපැදි කොල්ලකෑමට පුරුදුව සිටි තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් සොරා ගත් යතුරුපැදි පහක් ත්‍රිරෝද රථයක් සමඟ (10) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හතළිස් දෙකක් පමණ වටිනා මෙම යතුරුපැදි සහ ත්‍රිරෝද රථය කෑලි ගලවා විකිණීමට ගරාජයකට අලෙවි කර ඇත්තේ රුපියල් ලක්ෂ හතරකට බව පොලිසිය පවසයි.
කහතුඩුව-පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් යතුරුපැදියක් සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකදී මෙම කොල්ල කල්ලිය අත්අඩංගුවට ගත් බව පැවසේ.
ජාවාරමේ ප්‍රධාන සැකකරු තරිඳු නමැත්තා මෙම යතුරුපැදිය පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් සොරා ගැනීම ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර ඒ අනුව දින තුනක් පුරා ආරක්ෂක කැමරා දර්ශන 35ක් පමණ පරීක්ෂා කරමින් පොලිස් නිලධාරීන් හොරණ නගරය දක්වා ගොස් තිබේ.
එහිදී හොරණ නගර මධ්‍යයේදී සැකකරු යතුරුපැදිය සමඟ අතුරු මාර්ගයකට හරවන අයුරු දැක එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එහි යකඩ බඩු එකතු කරන ස්ථානයක් සහ ගරාජයක් පිහිටා තිබූ බව පැවසේ.
නියත වශයෙන්ම සැකකරු කොල්ලකන වාහන මෙම ස්ථානයට කැබලි කිරීමට භාරදෙන බවට වූ සැකය මත පොලිස් නිලධාරින් පැය පහකට අධික කාලයක් එම ස්ථානය වටලා ආවේක්ෂණ රාජකාරියේ රැඳී සිටියදී සැකකරු යතුරුපැදියකින් පැමිණ තිබේ. එසේ පැමිණි යතුරුපැදියේ බලපත්‍ර ඉල්ලා සිටියදී ඒවා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එම යතුරුපැදිය දින දෙකකට පෙර උතුරු කළුතර ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවට අනාවරණය වී තිබේ. පසුව සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී කහතුඩුව ප්‍රදේශයෙන් සොරා ගත් යතුරුපැදිය ඇතුළු යතුරුපැදි පහක් හා ත්‍රිරෝද රථයක් පොලිසිය සොයාගෙන තිබේ.
පොලිස් භාරයට ගත් වාහනවල කිසිදු නීත්‍යනුකූල බලපත්‍රයක් සැකකරු සන්තකයේ තිබී නොමැති බව පැවසේ.
ඒවා උතුරු කළුතර, කහතුඩුව, හොරණ, බුලත්සිංහල, කැස්බෑව, ගාල්ල යන ප්‍රදේශවලට අයත් බවත් ලක්ෂ හතලිස් දෙකක් පමණ වටිනා මෙම යතුරුපැදි සහ ත්‍රිරෝද රථය කෑලි ගලවා විකිණීමට ගරාජයට අලෙවි කර ඇත්තේ රුපියල් ලක්ෂ හතරකට බවට කරුණු අනාවරණය වී තිබේ.
ඒ අනුව ගරාජ හිමියා සහ ප්‍රධාන සැකකරුට ආධාර අනුබලදුන් ත්‍රිරෝද රථ රියැදුරෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් හොරණ ප්‍රදේශයේ පදිංචි 26 සහ 38 හැවිරිදි වයස්වල පදිංචි තිදෙනා ඊයේ (11) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.