ජනතාව අබියසටම ගොස් ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමේ අරමුණින් සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධාන කරන ලද ජංගම සේවා වැඩසටහනක් කන්දේගෙදර මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී ඉකුත්දා පැවැත්විණි.
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිරෝෂා චාන්දනී හෙන්නායක මහත්මියගේ උපදෙස් මත එම කාර්යාලය මඟින් සංවිධානයකෙරෙන ජංගම සේවා වැඩසටහන් මාලාවක සිව්වැනි ජංගම සේවය මෙය වූ අතර සොරණාතොට කොට්ඨාසයට අයත් කන්දේගෙදර, කිරිඔරුව, ඉඩමේගම හා ලෙජර්වත්ත යන ග්‍රාම නිලධාරි වසම්වල ජනතාව උදෙසා ඒ ඒ වසම්වල ග්‍රාම නිලධාරීන් ඇතුළු නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධාන කොට තිබිණි.
මේ සඳහා සහභාගි වූ ජනතාවට ඉදිරි මැතිවරණය උදෙසා තාවකාලික හැඳුනුම්පත් ලබා දීම ඇතුළුව ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික, ඉඩම් ගැටලු, විදුලි සම්බන්ධතා පිළිබඳ ගැටලු, සමාජ සේවා, පොලිසිය හා තැපැල් සේවයට අදාළ ගැටලු ඇතුළු ගැටලු රාශියකට විසඳුම් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබූ අතර ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද සායනයක්ද එහිදී පැවැත්විණි.
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිරෝෂා චාන්දනී හෙන්නායක, සහකාර ප්‍රාදේශීය ලේකම් දීපානි අලහකෝන් යන මහත්මීන් ඇතුළුව එම කාර්යාලයීය නිලධාරීන් හා අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් රැසක්ද සහ ප්‍රදේශවාසී ජනතාව ඇතුළු විශාල පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.