පොල්පිතිගම නගරයේ සපා කන බල්ලෙකු ගැවසෙන නිසා ජනතාව දැඩි භීතියකින් පසුවෙන බවට තොරතුරු අනාවරණය වේ. නගරයේ ප්‍රාදේශීය සභාව, බැංකු, ෆාමසි ඇතුළු ඒ අවට මෙම සුනඛයා ගැවෙසන බවත්, කොර ගසන හෝ ඇවිද ගැනීමට නොහැකිව කිහිලිකරු ආදිය භාවිත කරන පිරිස් දුටු සැනින් පසුපසින් ගොස් සපාකෑම් රැසක් සිදු කිරීමෙන් තුවාල ලැබූ කිහිපදෙනෙකුම රෝහල් ගතකර ඇති බවටත් පොල්පිතිගම මූලික රෝහලේ සේවකයෙක් පැවසීය.
අයිතිකරුවකු නැති අයාලේ යන මෙම සුනඛයාට කිසිදු එන්නතක් පවා ලබා දී නැත. ඒ නිසා සුනඛයා මරා දමන්නට බැරිනම් වගකිවයුතු අංශ එක්ව සුනඛයා එන්නත් කරවන්නේ නම් හෝ සපා කෑමෙන් වැළලඳෙන ජලභීතිකා අවදානමෙන් මිදෙන්නට තුවාලකරුවන්ට හැකි වෙන බවද ජනතාව පෙන්වා දෙති.
ඒ පිළිබඳව පොල්පිතිගම පොලිසිය පවසන්නේ ද මෙවැන්නකි. “ජනතාවට පීඩාවක් ගෙන දෙන ලෙසට නගරයේ ගැවසෙන මෙම සුනඛයා සම්බන්ධව පොලිසියට කිසිදු පියවරක් ගන්නට බැහැ. නමුත් ඊට අදාළ පශූ වෛද්‍ය ඒකකය දැනුම්වත් කර ඇති නමුත් ඔවුන් ඒ සම්බන්ධව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැහැ” යනුවෙනි.