රිදීමාලියද්ද පොලිස් බලප්‍රදේශයට අයත් ආඳාඋල්පොත, ගලහිටියාව ප්‍රදේශයේ සිට මහියංගණ, පගරගම්මන ප්‍රදේශයට බලපත්‍ර නොමැතිව තේක්ක දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ඉකුත් 9 වැනිදා අලුයම 2.00ට පමණ අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
රිදීමාලියද්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. වීරකෝන් මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේ පුද්ගලික ඉඩමකින් කැපූ තේක්ක දැව පටවා ලොරි රථය කැලෑ ප්‍රදේශයක සිට අතුරු මාර්ගයකට දමා ලොරි රථයේ පිටුපස දොර වැසීමට මාර්ගයේ නතර කිරීමත් සමඟ පොලිස් නිලධාරීන් දැක, ලොරි රථයේ පැමිණි පිරිස ලොරි රථය එම ස්ථානයේ දමා පලාගොස් තිබේ. එහිදී ලොරි රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ලොරි රථය රිදීමාලියද්ද පොලිසියට රැගෙන විත් පරීක්ෂා කිරීමේදී, ලොරි රථයේ විවිධ ප්‍රමාණයේ තේක්ක කඳන් 36ක් තිබූ බවත්, මෙම ලොරි රථය පිටුපස කොටස ගවයන් ප්‍රවාහනය කිරීම සඳහා යකඩ බාර් ගසා සකසා ඇති බවට නිරීක්ෂණය වූ බවත්, ජාවාරම්කරුවන් මෙම ලොරි රථය යොදාගෙන හොර රහසේ ගවයන් ප්‍රවාහනය කරනවාද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවත් රිදීමාලියද්ද පොලිසිය කියයි. මෙම තේක්ක ගස් කැපූ ඉඩම පරීක්ෂා කර එහි හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, තමන්ට ඉඩමට ඔප්පු ඇති බවත්, පගරගම්මන ප්‍රදේශයේ පුද්ගලයකුට තේක්ක ගස් 4ක් රුපියල් 20,000ක මුදලකට විකිණූ බවත්, රුපියල් 15,000ක මුදලක් තමන්ට ගැණුම්කරු විසින් ලබාදුන් බවත් ය.
අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියැදුරු ඉකුත් 9 වැනිදා සවස රිදීමාලියද්ද පොලිසියට පැමිණ භාරවී ඇති අතර, ඔහු පගරගම්මන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කුලී පදනම මත තේක්ක ගස් ප්‍රවාහනය කිරීමට පැමිණ ඇති අතර, ලොරි රථයේ රියැදුරා සහ දැව තොගය ඊයේ (11) මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, මහියංගණ සහකාර පොලිස් අධිකාරි පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. වීරකෝන් මහතාගේ මෙහෙයවීමෙන්, පො.සැ (5586) අරුණ, පො.සැ (61681) විජේසේකර, පො.කො. (79015) විපුල, පො.කො. (83215) මේනක යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.