වනවාසීව ගත කරමින් බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයක් ලබාගෙන ආධ්‍යාත්මික හා නිදහස් ආගමික ජීවිතයක් ගත කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් පසුගියදා (09) ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණ එහි ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් බැහැදකිමින් ඒ පිළිබඳ සාකච්ඡාවක නිරත වූහ.
ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවල පදිංචි 25ක පමණ විවිධ වෘත්තීය රැකියාවල නිරතවන කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් අනුරාධපුරය, පොලොන්නරුව ඇතුළු ආරණ්‍ය සේනාසනවල වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාගෙන් බෞද්ධ දර්ශනය, බුදු දහම පිළිබඳ මනා අවබෝධයක් සහ භාවනායෝගීව ජීවිත ගත කිරීමට අවබෝධයක් ළඟා කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.
විවිධ ආගම් අදහන පිරිස් මෙම කණ්ඩායමේ සිටිය ද ඇතැමුන්ට නිශ්චිත ආගමක් නොමැති හෙයින් බෞද්ධ දර්ශනයේ ඇති වැදගත්කම හා බෞද්ධ දර්ශනය ජීවිතයට ඇතුළත් කරගනිමින් ඒ ඔස්සේ නිවන්මග අවබෝධ කරගැනීමට හැකියාවක් ඇද්ද යන්න තමන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් ඒ පිළිබඳ අධ්‍යයනයක් සිදු කරන බවද දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සමඟ සාකච්ඡා කරමින් එම පිරිස සඳහන් කළහ.
ගොඩනැඟිලි සහ කොන්ක්‍රීට් වනාන්තරයක ජීවත් වන තමන් දැඩි මානසික ආතතියෙන් පෙළෙන බවත්, ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා මෙන්ම සාමණේර හිමිවරුන් වනවාසීව ජීවිත ගත කිරීමෙන් බුදු දහම උන්වහන්සේලාගේ ජීවිතවලට ළඟා කර නිවන අවබෝධ කිරීමට දැඩි වෙහෙසක් දරන බවත්, තමන් ද එවැනි ජීවිත ගත කිරීමට දැඩි වුවමනාවක් හා ඇල්මක් දක්වන නිසා ඒ පිළිබඳ සොයා බැලීමට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණි බවද දිඹුලාගල නාහිමියන් සමඟ සුහඳ කතාබහක නිරත වෙමින් ඔස්ට්‍රේලියානු ජාතිකයෝ සඳහන් කළහ.
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ වටිනාකම් පිළිබඳවත්, බෞද්ධ දර්ශනය පිළිබඳවත් මනා අවබෝධයක් ලබාගැනීමට මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු ජාතිකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමේ දී ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විශාල අඩුපාඩුකම් රැසක් පවතින බවත්, ඒවා සංවර්ධනය කරන්නේ නම් දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ම පැමිණි ඔස්ට්‍රේලියානු ජාතිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට අවස්ථාව ලබාදිය හැකි බව මෙහිදී අදහස් දක්වමින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
ඔස්ට්‍රේලියානු ජාතිකයන් වනවාසී ජීවිතයක් ගත කිරීමටත්, බෞද්ධ දර්ශනය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමටත්, හොඳම තෝතැන්නක් බවට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සුදුසු ස්ථානයක් බවත් එම ස්ථානය සංවර්ධනය කරමින් දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන්නේ නම් මෙරටට විදේශ විනිමය මෙන්ම ඩොලර් ප්‍රමාණයක් ලබාගත හැකි බවද දිඹුලාගල නාහිමියන් මෙහිදී කරුණු දක්වමින් සඳහන් කළහ.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුමුදුනින් මෑතකදී හමුවූ විශාලතම සෙල්ලිපිය නැරඹීමට අවශ්‍ය පහසුකම් සහ එම ස්ථානය සංරක්ෂණය කරන්නේ නම් ඔස්ට්‍රේලියාවෙන් පමණක් නොව විදේශීය රටවලින් සංචාරකයින් මෙරටට පැමිණෙන බවත්, ඒ හරහා ප්‍රදේශයේ රැකියා අවස්ථා මෙන්ම ඔවුන්ගෙන් මෙරටට විශාල වශයෙන් ඩොලර් උපයා ගනිමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරගත හැකි බවද නාහිමියෝ මෙහිදී වැඩිදුරටත් පැවසූහ.