බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු වන ආරක්ෂාව, රැකබලාගැනීම සහ පුනරුත්ථාපනය මඟින් විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන රැඳවියන් යහපත් පුරවැසියන් පිරිසක් ලෙස සමාජානුගත කිරීම උදෙසා විවිධ පුනරුත්ථාපන වැඩසටහන් රට පුරා විසිර ඇති බන්ධනාගාර 29 තුළ ක්‍රියාත්මක කරනු ලබයි.
මේ අරමුණු වඩාත් ඵලදායි අන්දමින් සාධනය කරගැනීම උදෙසා බන්ධනාගාර 29ට අනුබද්ධව ක්‍රියාත්මක කරනු ලබන සිරකරු සුබ සාධක ප්‍රදේශීය උප කමිටු බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳගනිමින් පුනරුත්ථාපන අංශවල සම්බන්ධීකරණයෙන් නොනිමි මෙහෙවරක් ඉටු කරමින් සිටී.
මේ උතුම් සත්කාර්යය මනා ලෙස සිදු කිරීමටත් රැඳවි සුබ සාධනය හා පුනරුත්ථාපනය වඩාත් අර්ථවත්ව සිදු කිරීම උදෙසාත් බන්ධනාගාරගත රැඳවියන් වෙනුවෙන් සිරකරු දිනය සැමරීම සිදු වේ.
මේ සිරකරු දිනයේ නිර්මාතෘවරයා වූයේ ශ්‍රී ලංකා සිරකරු සුබ සාධක සංගමයේ හිටපු සභාපති ආචාර්ය සී. ආනන්ද ග්‍රේරූ මහතාය. ඒ අනුව 1998 වර්ෂයේ සැප්තැම්බර් මස 12 වන දින සිරකරු සුබ සාධක දිනය වශයෙන් ප්‍රථම වතාවට ජාතික දිනයක් ප්‍රකාශයට පත් කොට රට පුරා බන්ධනාගාර 29 තුළ රැඳවියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව මේ වර්ෂයේද 26 වැනි වරටත් එම දිනය සැමරීම උදෙසා වත්මන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මහතාගේ උපදෙස් මත, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් චන්දන වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් හා බන්ධනාගාර මූලස්ථානයේ පුනරුත්ථාපන අංශයේ සහකාර බන්ධනාගාර අධිකාරි (පුනරුත්ථාපන) ජයන්ත අදාසූරිය, එන්.පී.එස්. දසනායක මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් රට පුරා විසිර ඇති බන්ධනාගාරවල අධිකාරිවරුන්ගේ හා පුනරුත්ථාපන නිලධාරීන්ගේ මනා සම්බන්ධීකරණයෙන් හා සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ සහය ඇතිව සිරකරු සතියක් නම් කර, ඒ සතිය පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබිණි. සියලු බන්ධනාගාර රැඳවියන් ඇතුළත් වන ලෙස මේ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර, රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන අපරාධ රැල්ල හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්ද පැවැත්වීමට බන්ධනාගාර පුනරුත්ථාපන අංශය පියවර ගත්තේය. අධ්‍යාපනික, ආගමික, අධ්‍යාත්මික,උපදේශන, ක්‍රීඩා, සෞඛ්‍ය හා පවුල් සුබ සාධන වැඩසටහන් රැසක් රාජ්‍ය හා රාජ්‍ය නොවන සම්පත්දායකයන්ගේ හා සමාජ සුබ සාධන ආයතනවල සම්පත් දායකත්වයෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
සිරකරු දින සැමරුම් ප්‍රධාන උත්සවය අද (12) උදේ 9.00ට කොළඹ 9, නගරෝදය ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, සිරකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල දූදරුවන් වෙනුවෙන් සුබ සාධන කටයුතු රැසක් එදින සිදු කිරීමට කටයුතු යොදා තිබේ.