කොළඹ වරායට පැමිණෙන නෞකාවලට ඉන්ධන සැපයීමෙන් ජයා කන්ටේනර් ටර්මිනල් ලිමිඩට් ආයතනය ගත වූ වසර පහේදී රුපියල් කෝටි 7.6ක (රු. මිලියන 746ක්) ශුද්ධ ලාභයක් උපයාගෙන ඇතැයි එම සමාගමේ සභාපති, නීතිඥ ලක්මාල් රත්නායක මහතා පැවසීය. එම ආයතන පරිශ්‍රයේ පෙරේදා (10) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව 2020දී රුපියල් මිලියන 12ක්, 2021දී රුපියල් මිලියන 65ක්, 2022දී රුපියල් මිලියන 245ක්, 2023දී රුපියල් මිලියන 243ක් හා මේ වසරේ අගොස්තු මස අවසන් වන විට රුපියල් මිලියන 181ක් ලෙස ලාභ උපයාගත් බව හෙතෙම කීවේය. මේ ලාභය ලැබීම සඳහා 2020දී රුපියල් මිලියන 210ක්, 2021දී රුපියල් මිලියන 298ක්, 2022දී රුපියල් මිලියන 608ක්, 202දී රුපියල් මිලියන 612ක් හා මේ වසරේ අගොස්තු මස අවසන් වන විට රුපියල් මිලියන 489ක ආදායමක් ඉපයීමට සමත් වූ බව සභාපතිවරයා සඳහන් කළේය.
රතු මුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායට නැව් පැමිණීම වැඩි වීමෙන් ආදායම විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්, ආයතනයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තවත් ටැංකි දෙකක් ඉදි කිරීමට කටයුතු කරගෙන යන බවත් සභාපතිවරයා කියා සිටියේය. ආයතනය දියුණු කරමින්, සේවක පහසුකම් හා නඩත්තු කිරීම්ද නිසි පරිදි සිදු කරමින් මේ ලාභය ලැබූ බව පැවැසු සභාපතිවරයා එම ලාභය උපයාගැනීමට එකා මෙන් වැඩ කළ සියලු සේවකයන්ට සිය ස්තූතිය පුද කර සිටියේය.
සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය: ඉතිහාසයේ වැඩිම ලාභය උපයන්න 2023දී අප සමත් වුණා. එය මේ වසරේදී ඉක්මවා යයි කියන විස්වාසය අපට තිබෙනවා. අපි මේ සියල්ල කළේ ආයතනය සංවර්ධනය කරන ගමන්, සේවකයන්ටත් වරප්‍රසාද ලබා දීලයි. තෙල් ගබඩා කිරීමේ ධාරිතාව වැඩි කරන්න ටැංකියක් හදා අවසන් කළා. තිබෙන ධාරිතාව තව වැඩි කරන්න ඉදිරියේ තව ටැංකි දෙකක් ඉදි කිරීමට කටයුතු කරමින් තිබෙනවා.
ජයා කන්ටේනර් ටර්මිනල් ලිමිඩට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය සිසිර කෝදාගොඩ, මුදල් කොට්ඨාස ප්‍රධානි සුගන්ධිකා ලංසකාර, ඉංජිනේරු කොට්ඨාස ප්‍රධානි නලින් විදානපතිරණ මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.