ජන වර්ග අතර නොසන්සුන්තාවක් ඇති වන අයුරින් වෛරී ප්‍රකාශයක් සිදු කළ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි දේශප්‍රේමී ජන බලවේගයේ ලේකම් සුගත් හේවාපතිරණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.
මෙම ප්‍රකාශය මඟින් නිදහස් සහ සාමකාමි ලෙස ජීවත් වෙන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනවර්ගයා අතර අවිශ්වාසය, අසමගිය හා වෛරය ඇති වී ජනවාර්ගික ගැටුම් දක්වා වර්ධනය විය හැකි තත්ත්වයක් නිර්මාණය විය හැකි බව සුගත් හේවාපතිරණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
තමන් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය ජයගන්නා බවත්, ඒ සඳහා සිංහල ප්‍රදේශවල ජනයා තමා වෙත ඡන්දය ප්‍රකාශ කරන බවත් යාපනය උඩුප්පිඩි නගරයේ පැවැති රැලියකදී සිංහලෙන් ප්‍රකාශ කරමින් එය දෙමළ භාෂාව සඳහා පරිවර්තනය කිරීම සඳහා භාෂා පරිවර්තකයෙක්ද යොදා ගෙන සිටි බව හෙතෙම සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.
එලෙස සිංහල ජනතාව ගනු ලබන දේශපාලන තීන්දුවට ප්රතිවිරුද්ධව දේශපාලන තීන්දුවක් ගතහොත්, වෙනත් විදියකින් කිවහොත් තමා හට ඡන්දය භාවිත නොකළහොත් දකුණේ සිංහල ජනතාව උතුරේ දෙමළ ජනතාව වෙත කෙසේ ප්‍රතික්‍රියා දක්වා වී යැයි තමා නොදන්නා බව අනුර කුමාර දිසානායක මහතා එම රැලියේ දී ප්‍රකාශ කර තිබුණ බව හේවාපතිරණ මහතා එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.
මේ ප්‍රකාශය හරහා තමන්ට ඡන්දය නොදෙන දෙමළ හා මුස්ලිම් ජනතාව භීතියට පත් කිරීමේ නින්දිත උත්සාහයක යෙදෙන අනුර කුමාර දිසානායක මහතා ජනවාර්ගික කණ්ඩායම් අතර නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමටත් ඒ හරහා ජනවාර්ගික ගැටුම් සඳහා ඉඩ ප්‍රස්ථාව නිර්මාණය කරන බවත් සඳහන් කර තිබේ.