එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයෙක් වී සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1951 දී තීරණයක් ගත්තේය. ඒ පාලක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමටය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට බණ්ඩාරනායක මහතා පියනැඟීය. ඔහු පසුපසින් ඩී.ඒ. රාජපක්ෂ, ඒ.පී. ජයසූරිය, ජයවීර කුරුප්පු, ඩී.එස්. ගුණසේකර හා ජෝර්ජ් ආර්. ද සිල්වා ද එක පෙළට පැමිණ විරුද්ධ පක්ෂයේ අසුන් ගත්හ. එකල ලාංකේය දේශපාලනයේ මහා හිඩැසක් පුරවන්නට ඒ ගමන සමත් වූ බව සඳහන් කළ යුතුය.
ඒ අනුව 1951 වර්ෂයේ ජූලි 12 වැනි දින මුදල් අමාත්‍යවරයා විසින් 1951-52 වර්ෂය සඳහා අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී හෙතෙම එතෙක් වසර 04ක් තිස්සේ තමන් දරමින් සිටි සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරයට හා සභා නායක ධුරයට සමුදී විරුද්ධ පක්ෂයේ අසුන් ගත්තේය. 1946 වසරේදී එක්සත් ජාතික පක්ෂය පිහිටුවූ අවස්ථාවේදී තමන්ගේ නායකත්වයෙන් යුතු සිංහල මහා සභාව ඊට එක්වීමෙන් අපේක්ෂා කළ පළමු අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු නොවීම බණ්ඩාරනායක මහතාගේ මෙම තීරණයට මූලිකවම හේතු විය.
බලය වෙනුවෙන්ම කටයුතු කරන දේශපාලකයන්ට තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටීමට කොන්දක් තිබිය යුතු බව එදා මේ ආකාරයට ප්‍රථමයෙන්ම පෙන්වා දුන්නේ බණ්ඩාරනායක මහතාය. වත්මන් දේශපාලකයන්ට ද එය ඉතා වටිනා ආදර්ශයකි.
කිසිදු දේශපාලන බලවේගයකට නතු කරගන්නට බැරි වූ සඟ/ වෙද/ ගුරු/ ගොවි/ කම්කරු පංච මහා බලවේගය ඒකරාශි කර ගත් බණ්ඩාරනායක මහතා 1951 සැප්තැම්බර් මස 02 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළේය. කෙසේ වුවද මේ අතරින් කම්කරු පන්තිය ග්‍රාමීය බලවේගයක් නොවුණු අතර ඒ සඳහා නායකත්වය සැපයූවේ වාමාංශික පක්ෂ විසිනි. මෙම පන්තිය නාගරික බලවේගයක් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණු අතර මේ සඳහා නායකත්වය සැපයූ වාමාංශිකයින් හරහා ඔවුන්ගේ ඉල්ලීම් හා කේවල් කිරීම් දිනා ගැනීමට හැකියාවක් ලැබිණි. උදාහරණයක් ලෙස නිදහස් අධ්‍යාපනය ලබා දීම වාමාංශික ව්‍යාපාරය නිසා උරුම වූවක් බව සඳහන් කළ හැකිය.

මැතිවරණ රැස්වීමකට පැමිණි පිරිසක්
ඒ කෙසේ වුවද, දේශීයත්වය හොයමින් සිටි ග්‍රාමීය මෙන්ම මධ්‍යම පාන්තික ජනතාව මේ පෙරළිකාරයා වටා එක්රොක් විය. ප්‍රතිඵලය වුණේ 1956 මහා විප්ලවයක් ඇති වීමය. ජනතාවාදී විප්ලවයේ ප්‍රතිඵලය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මේ රටේ අගමැති කරවීය. එය සැබවින්ම විප්ලවයක්ම විය. කෙසේ වුවද ලේ බිඳක් නොසලා රටක සිදුවුණ සැබෑම විප්ලවය ලෙස 56 විප්ලවය හැඳින්විය හැකිය. 56න් අපට ලැබුණ දේ අතිවිශාලය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය. ජාතික ඇඳුමට ප්‍රමුඛම තැනක් හිමිවිය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ සංවර්ධන පෙරළිය නිර්මාණය වන්නේද 1956 ඓතිහාසික ජයග්‍රහණය පදනම් කරගෙනය.
ඇත්තෙන්ම එය ශ්‍රී ලංකාවේ පුනර්ජීවන යුගයේ ආරම්භය ද විය. සංවර්ධනය එක් පැත්තකින් ඇරඹෙද්දි සුදු පාලනයට අවැසි ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ පාලන තන්ත්‍රය හිතාමතාම යට ගසා තිබූ දේශීය සංස්කෘතියටද මහා පණක් ලැබිණි. නාට්‍ය කලාවට නව පණක් ලැබිණි. මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය බිහි වන්නේද 1956 දීය. ශ්‍රී ලාංකේය සිනමා ගමන් මඟ බුද්ධිමය වශයෙන් පෝෂණය කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව, චිත්රසේනයන්ගේ නල දමයන්ති මේ මුද්‍රා නාට්‍ය කිහිපයක් පමණි. තව බොහෝ සංස්කෘතික පෙරළි 56 න් ඇරඹිණි. විද්‍යෝදය හා විද්‍යාලංකාර මහා සම්ප්‍රදායට අයත් පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පරිවර්තනය වන්නේද 56 පෙරළියත් සමඟය. බණ්ඩාරනායක මහතාගේ 56 ජයග්‍රහණයත් සමඟම ශ්‍රී ලංකාව ලෝකයේ සමාජවාදී රාජ්‍යයන් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගත්තේය.
බ්‍රිතාන්‍යයන් 1948 නිදහස දී රටෙන් ගියත් ඉවත් කර ගත්තේ නැති කටුනායක හා ත්‍රිකුණාමල බ්‍රිතාන්‍ය ගුවන් හා නාවික කඳවුරු ඉවත් කළේද 56 පෙරළියෙන් පසුවය. රටේ උන්නතියට සංවර්ධනයට දහදිය කැප කළ වැඩකරන ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාව වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කළේ ද 1956 විප්ලවයෙන් පසුවය.
1926 දී උතුරේ දී බණ්ඩාරනායක මහතා කළ කතාවක දී ඔහු ෆෙඩරල් ක්‍රමයක් මේ රටට සුදුසු බව යෝජනාකර තිබුණි. ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් මෙවැනි මතයක් දැරූ ප්‍රථම පුද්ගලයාද ඔහු වේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීමෙන් අනතුරුව ඔහු චෙල්වනායගම් මහතා සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට සිතුවේ ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලුව කල්තියා දුටු නිසා විය හැකිය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගය ඊට ඉඩ නොදුන්නේය. එසේ නොවන්නට වසර 30ක් පුරා පැවති කුරිරු යුද්ධයකට මුහුණ දීමට සිදු නොවෙනු ඇති බව සඳහන් කළ හැකිය.
බණ්ඩාරනායක මහතාගේ නායකත්වය යටතේ විශාල අත්වැරදීමක් සිදුවූ බවද සඳහන් කළ යුතුය. එනම්, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම නිසා සිංහල භාෂාවෙන් ඉගෙන ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපනය දක්වා ඉහළට ඉගෙනීමට අවස්ථාව සැලසිණ. එය විශාල පෙරළියක් බවට පත් විය. එසේ වුවත් එම අවස්ථාව ලැබුණේ කා හටද යන්න ගැටලුවක් විය. මන්ද කලා විෂයන්වලින් උපාධිය හදාරන විද්‍යාර්ථයින්ට එම අවස්ථාව හිමි වුවත් වෛද්‍ය විද්‍යාවල ඉන්ජිනේරු හා වාණිජ්‍ය විෂයන් හැදැරීමේ දී ඉංග්‍රීසි භාෂාවට ප්‍රමුඛත්වය හිමිවිය. නමුත් ජපානය වැනි රටක ජපන් භාෂාවෙන් ඉහළ අධ්‍යාපනය ලබා වෛද්‍ය වෘත්තිකයෙක්, ඉංජිනේරුවෙක් වැනි ඉහළ වෘත්තීන්ට පිවිසීමට අවස්ථාව උදාකර දී තිබුණත් ලංකාවේ තත්ත්වය එසේ නොවුණි. 56 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීමේදී එවැනි තත්ත්වයක් ඇති නොවුණි. මේ නිසා සිංහල උගතුන් සහ ඉංග්‍රීසි උගතුන් අතර විශාල පරතරයක් නිර්මාණය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉංග්‍රීසි උගතුන් බමුණු කුලයක් බවට පත් විය. සිංහල උගතුන් හා ඉංග්‍රීසි උගතුන් අතර යටත්විජිත යුගයට එහා ගිය පරතරයක් නිර්මාණය වීමත් සමඟ 1960 පමණ වන විට මේ රටේ විරැකියා මට්ටම ඉහළ ගියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමීය තරුණ ප්‍රජාව තුළ අරගලකාරී ස්වභාවයක් 64-65 කාලය තුළදී ඇති වූ අතර එය මූලික කරගත් විප්ලවවාදි පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ බිහිවිය. එය කූටප්රාප්තියට පත්වුයේ 71 අරගලය සමඟය. නමුත් මේ තරුණ ප්‍රජාව වෙන කවුරුන් හෝ නොව 56 විප්ලවයෙන් නැත්නම් පෙරළියෙන් බිහිවූ සිංහල උගත් විරැකියාවෙන් පෙළෙන තරුණ ප්‍රජාවම විය. ඊට බලපෑ මූලිකම හේතුව වූයේ රටේ අධ්‍යාපනය පුළුල් වූ මට්ටමට ආර්ථිකය පුළුල් නොවීමය. මෙය බණ්ඩාරනායක මහතාගේ නායකත්වය යටතේ සිදුවූ විශාල වරදකි.
ශ්‍රී ලංකාවේ වරාය ජනසතු කිරීම, පොදු ජනතාවගේ ප්‍රවාහන සේවය වූ බස් ජනසතු කරමින් ලංගම ස්ථාපිත කෙරුණේද බණ්ඩාරනායක පාලනයත් සමඟය. සමාජවාදී රාජ්‍යයන් සමඟ සම්බන්ධ වී අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය ඉහළ නංවා ස්වදේශිකවාදී ජාතික නිෂ්පාදන ක්‍රියාවලියක් තුළින් දේශිය කර්මාන්ත නඟාසිටුවන්නටද 56 විප්ලවයෙන් පසු හැකි විය.
මේ ඉතාමත් සුළු කොටසක් පමණි. ලාංකේය ජනතාවට දේශීයත්වය මුල්කරගනිමින් ලෝකයේ ඕනෑම බලවත් රටක් ඉදිරියේ නොසැලී නැඟී සිටින්නට ඉඩ සැලසුවේ 1956 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සිදුකළ දැවැන්ත සමාජ විප්ලවය නිසාමය. 56 විප්ලවය තව දශක ගණනාවකට වලංගු වන සැබෑ ජනතා විප්ලවයක් බව සඳහන් කළ යුතුය.
එම්. තාරික්