ග්‍රාමීය පවුල් 339කගේ පානීය ජල ප්‍රශ්නය විසඳා ඔවුන්ට පිරිසිදු ජල බිඳක් ලබා දීමේ අරමුණින් රුපියල් ලක්ෂ 800ක පමණ ඇස්තමේන්තුවක් යටතේ හසලක, පලුගොල්ල ග්‍රාමයේ ඉදිකරනු ලැබූ ජල ව්‍යාපෘතිය මුදල් නාස්තියක් පමණක් සිදුවී ඇති අසාර්ථක ව්‍යාපෘතියක් වී තිබෙන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
හසලක, කොළොංගොඩ ප්‍රදේශයේ පිහිටි 32 ඇළ, 34 ඇළ, හීංගඟ ගම සහ කොටලීයගම යන ගම්මාන හසලක අංක 906 පලුගොල්ල ග්‍රාම නිලධාරි වසමේ පිහිටි දුෂ්කර ගම්මාන කිහිපයකි. මෙම ගම්මානවල පදිංචි පවුල් 339ක 1200කට අධික ජනතාවක් පානීය ජල ප්‍රශ්නය හමුවේ වසර ගණනාවක් පීඩාවට පත්ව සිටිති. මෙම ගැමියන්ගේ ඉල්ලීම මත රජය 2020 වර්ෂයේ මැද භාගයේ දී පමණ ගම්මානවලට ජලය ලබා දීමට ව්‍යාපෘතියක් සකස් කර ඉදිකිරීම් භාගයට නිමකොට එය 2022-06-16 වෙනි දින ජනතා අයිතියට පත් කළ බව එම ගම්වාසීහු සඳහන් කරති. කොළොංගොඩ, 34 ඇළ ගමේ උපාලි ආනන්ද මහතා – නකල්ස් කඳුකරයෙන් ගලා එන හීං ගඟේ ජලය උපයෝගි කරගෙන මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ගමට ආසන්නයේ ගඟේ ස්ථානයක වැලි කොට්ට යොදා අක්‍රමවත් අන්දමින් ගඟ හරස් කොට එම ජලය ප්‍රමිතියෙන් තොරව සැකසූ නළ මඟින් ගං ඉවුරේ ඉදි කළ ළිඳකට යොමු කර තිබෙනවා. එතැන් සිට මීටර් 400ක් පමණ දුරට නැවත නළ මඟින් ජලය රැගෙන විත් උස් බිමක ඉදිකළ ටැංකිවල ගබඩා කිරීමෙන් අනතුරුව නළ මඟින් ගම්මානයේ ජනතාවට බෙදා හැරීම සිදු කරනු ලබනවා. මේ ජල නළත් ඇතුළු වෙනත් උපකරණ ප්‍රමිතියෙන් බාල උපකරණ බව අපිට වැටහෙනවා. මේ ප්ලාස්ටික් බට නිරන්තරයෙන් පුපුරා යන අතරම ඇතැම් ස්ථානවල ජල කාන්දු දක්නට ලැබෙනවා. ජල ව්‍යාපෘතියේ ජල ටැංකි ඉදි කිරීම් සහ ජල නළ එළීම් වැනි කටයුතු නිම කළත් ව්‍යාපෘතියට ජලය සපයා ගන්නා ප්‍රධාන ස්ථානය වන හීං ගඟේ ආරම්භක ස්ථානයේ ජල මූලාශ්‍රය ක්‍රමවත්ම ඉදිකිරීම් කර නොමැති බව ද ගංගාවේ අධික ජලයක් පැමිණි විටක දී ගඟ දිගේ එළා ඇති බට නියමිත පරිදි කොන්ක්‍රීට් කණු මත ඉදි කොට නැතිකමද ගැටලුසහගතයි. අදාළ ස්ථානවල බට පෑස්සුම් නොකර සවි කර ඇති නිසා ඒවා කැඩී විනාශ වීමට ඉඩ ඇති බව ද ගම්වාසීන් පවසනවා. ගං ඉවුරේ ඉදිකර ඇති ටැංකියෙන් ද ජලය පිටතට ගලා යෑම නිසා මෙහි ප්‍රමාණවත් ජලයක් රැස්කර තබා ගැනීමද ගැටලුවක්ව පවතින බව සිහිපත් කරනවා.
එච්.එම්.කේ.ජී. අනුර කුමාර හේරත් මහතා – අපේ ගමට දකුණු දිසාවෙන් ඇත්තේ මිනිපේ මහ ඇළයි. බටහිර දිසාවෙන් ගලා යන්නේ හීං ගඟයි. නමුත් ගම්මාන ආරම්භ වූ දා සිටම අපේ ගමේ අය ජල ගැටලුව හමුවේ පීඩා වින්දා. මේ අපහසුතාවයෙන් ජනතාව මුදා ගන්න තමයි රජය රුපියල් ලක්ෂ ගණනාවක මහජන මුදල් වැය කරලා ජල ව්‍යාපෘතියක් ඇති කළේ. ඒක මුදල් කා දැමීමක් මිස ජනතා ප්‍රයෝජනයක් වෙන ව්‍යාපෘතියක් නොවන බව මෙහි එන ඕනම කෙනෙකුට පෙනෙනවා.
පී.ඩී.ජී. දයානන්ද මහතා – ගඟේ ඉදලා පහළට ජලය රැගෙන එන ප්‍රධාන නළ කොන්ක්‍රීට් කණු මත ප්‍රමිතියකින් යුතුව සැකසිය යුතු වුවත් ඒවා කිසිදු ක්‍රමවේදයක් නැතිවම එළා තිබෙනවා. ගඟේ ලොකු ජලයක් ආවොත් මේවා කැඩී විනාශ වෙනවා. මෙහි සැලසුම් කිරීම සහ ඉදිකිරීම් නිසි පරිදි සිදු නොකිරීම නිසා අසාර්ථක ජල ව්‍යාපෘතියක් බවට මෙය අද පත්ව තිබීම කනගාටුදායකයි. මෙම ජල ව්‍යාපෘතිය ගමේ අයගෙන් සැදුම්ලත් සමිතියකින් තමයි පාලනය වෙන්නේ. නමුත් මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කළ ඇතැම් නිලධාරීන් සම්බන්ධ වී සමිතියේ මුදල් ගනුදෙනු පිළිබඳව තොරතුරුද අස්ථානගත කර තිබෙන බවට අපට දැන ගන්නට ලැබී තිබෙනවා.
එම්.ජී.ආර්. මැදිලිය මහතා – මෙම ජල ව්‍යාපෘතියේ අසාර්ථක බව සම්බන්ධයෙන් අපි අදාළ වගකිව යුතු අයව දැනුම්වත් කළා. නමුත් මේ වනතුරු එයට කිසිදු ප්‍රතිචාරයක් නැහැ. හැබැයි පාරිභෝගික ජනතාව සහ පාරිභෝගික සමිතියේ නිලධාරීන් ගොනාට අන්දවලා රැඳවුම් මුදල් ගන්න මෙහි ඉදිකිරීම් කළ ආයතනය මේ දිනවල විශාල උත්සාහයක යෙදෙන බව අපිට දැනෙනවා. අපි කියන්නේ සැලසුමේ සඳහන් පරිදි ව්‍යාපෘතියේ වැඩ සියල්ල නිම කරන්න. අපි අදාළ මුදල් නිදහස් කරන්න කටයුතු කරන්නම් කියලයි. අපේ විශේෂ ඉල්ලීම වන්නේ මේ ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම හා ඉතිරි වැඩ කොටස් නිම කර ව්‍යාපෘතිය සමිතියට භාර දීමට අවශ්‍ය කටයුතු කිරීමට අදාළ අංශ දැනුම්වත් කිරීම කරන්න කියලයි.
හසලක සමූහ – ඊ.එම්.එස්. ඒකනායක