Monday, April 21, 2025
Home » මෙවර ජනපතිවරණයේදී රනිල්ට දෙමළ ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබෙනවා

මෙවර ජනපතිවරණයේදී රනිල්ට දෙමළ ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබෙනවා

-හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරන්

by sachintha
September 11, 2024 1:40 am 0 comment

මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ දෙමළ ඡන්ද විශාල ප්‍රමාණයක් ඇති බැවින් අනිවාර්යෙන්ම ඔහුට ජයග්‍රහණය හිමි වන බව හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරන් මහත්මිය පෙරේදා (9) පැවසුවාය. යාපනයේ සංගිලියන් උද්‍යානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළ ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයකලා මහේස්වරන් මහත්මිය:

“බොහෝ දෙනකු මේ දවස්වල කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2022 වසරේ මේ රට ආර්ථික ප්‍රපාතයකට ඇදවටුණු අවස්ථාවේ ඔහු රට බේරාගත් කතාව පමණයි. ඒත් උතුරේ ජීවත් වන අප දන්නා කාරණයක් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා 2002 වසරේදී යුද්ධය ප්‍රබලව පැවති සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා කොට සටන් විරාම ගිවිසුමකට ආවා. එක් වරටම මහා යුද්ධයක් නතර වුණා. එදා දෙපිරිස අතර අත්සන් කළ ගිවිසුම නිසා මිනිස්සු මැරෙන එක මිනිස්සුන්ට හිරිහැර සිදු එන එක සම්පූර්ණයෙන්ම නැවතුණා. පසුකාලීනව යුද්ධය හමාර කිරීමට මහන්සි වුණු පිරිසට යුද්ධය හමාර කරන්නට මූලික අඩිතාලම දමා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය කියන කාරණය දැන් විශාල පිරිසකට මතක නෑ. එහෙත් යුද්ධයෙන් බැටකෑ උතුරු නැඟෙනහිර දෙමළ වැසියන්ට මේ ඉතිහාසය ඉතා හොඳින්ම මතකයි. ඒක නිසා ඔවුන් 2022 ගැන හිතනවට වඩා යුද්ධ කාලේ ඔවුන්ට ලැබුණු නිදහස ගැන හිතලා එතුමාට ඡන්දය දෙනවා. ඒක නියතයි.

“අපට මේ ලැබිලා තියෙන්නේ රට යළි විශාල සංවර්ධනයක් කරා ගෙන යන්න පුළුවන් අවස්ථාවකුයි. ඒ අවස්ථාව ජනතව හරියට තේරුම් නොගත්තොත් මේ රට යළි අවුරුදු පනහක පමණ කාලයකට ආපස්සට යනවා. ඒක විශාල අපරාධයක් බව සියලු දෙනාම තේරුම් ගත යුතුයි.

“මම දෙමළ කාන්තාවක්. මගේ මහත්තයා මරාදැම්මෙත් ඒ අයමයි. එහෙම නම් මමයි ජාතිවාදය ගැන කතා කරන්න ඕනෑ. එහෙත් අපි ජාතිවාදය සම්පූර්ණයෙන්ම පිටුදකිනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අනුර දිසානායක වගේ අය ජාතිවාදය තුළින් බලයට එන්න හදනවා. ඒක කවදාවත් වෙන්නේ නෑ. අනුරගේ කතාවෙන් පස්සේ සිද්ධ වුණේ ඔහුට උතුරේ වැසියන්ගෙන් ලැබෙන්න තිබුණු ඡන්ද ටිකත් නැති වෙලා ගිය එක විතරයි.

2005 වසරේදීත් මේ උතුරේ අය මහා ලොකු විනාශයක් කරගත්තා ඒ රනිල්ටවත් කාටවත් ඡන්දය නොදී හිටපු එක. කාගෙන් හරි සල්ලි අරන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පාවා දීම නිසා තමයි එදා රනිල් වික්‍රමසිංහ පරාජයට පත් වුණේ.

ඒ වර ඔහු එදා ජයග්‍රහණය කලානම් තත්ත්වය අද මීට වඩා වෙනස් වෙනවා මුළු උතුරම ගොඩාක් දියුණු වෙනවා. එදා කළ වරද ආයෙත් දෙමළ ජනතව කරන්නේ නෑ කියන එක විශ්වාසයි. ඔවුන් මේ සැරේ රනිල් මහත්තයාට විශල ජන්ද ප්‍රමාණයක් ලබා දෙනවා. ඒක නිසා 2024 ජනාධිපතිවරයා වෙන්නෙත් රනිල් මහත්තයාම තමයි.”

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT