Home » රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමේ නිර්දේශ ක්‍රියාවට නඟන්න ඇමැති මඬුල්ලේ අනුමැතිය දැනටමත් ලැබිලා

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමේ නිර්දේශ ක්‍රියාවට නඟන්න ඇමැති මඬුල්ලේ අනුමැතිය දැනටමත් ලැබිලා

-ඇමැති ප්‍රසන්න රණතුංග

by sachintha
September 11, 2024 1:27 am 0 comment

prasanna sl

“මේ දවස්වල මාධ්‍යවල යන කතාවක් තමයි රාජ්‍ය සේවා වැටුප් විෂමතා වාර්තාව සම්බන්ධව. මා ළඟ තියෙනවා ඒ කැබිනට් පත්‍රිකාව. ඒකෙ පැහැදිලිව තියෙනවා රාජ්‍ය සේවා වැටුප් විෂමතා පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් උදය ආර්. සෙනෙවිරත්න සභාපතිත්වය දැරු විශේෂඥ කමිටුවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී තියෙනවා,” යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා එලෙස අදහස් දැක්වූයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි පොදුජන එක්සත් නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී ඊයේ (10) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:

“මෙවර තැපැල් ඡන්දයේදී රාජ්‍ය සේවකයන් බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය දී ඇති බව අපට ආරංචියි. අප අද වැල් පාලමේ මඟක් දුරට ඇවිත් ඉන්නේ. ඒ ගමන ආපහු හැරුණොත් නැවත ප්‍රපාතයකට ඇදවැටෙන බව මහබැංකු අධිපතිවරයාත් ප්‍රකාශ කර තියෙනවා. අද ජ.වි.පෙ.මන්ත්‍රීවරුන් වැටුප් නොගෙන ඒවා පක්ෂයට දානවා. මන්ත්‍රීවරු නඩත්තුවට පක්ෂයෙන් සල්ලි ගන්නවා. ඔවුන් ඡන්ද ව්‍යාපාරයට විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. එක පක්ෂ කාර්යාලයකට ලක්ෂ 10ක් පමණ වියදම් කරනවා කියලා අපට ආරංචියි. හැබැයි මුදල් විශාල ලෙස වියදම් කළත් ඒ අයගේ ජංගිවල හිල්. මම මැතිවරණ කොමිසමේ අවධානය යොමු කරනවා මේ අය වියදම් කරන මේසා විශාල මුදල් ප්‍රමාණයක් පිළිබඳව සොයා බලන්න කියලා.

“අද අපේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 104 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනවා. ජාති භේද, කුල මල ආගම් භේද නැති මේ ස්වාධීන අපේක්ෂකයාට පොහොට්ටුවේ 80%ක් පමණ සහාය දෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිටපු බොහෝ උගතුන් බුද්ධිමතුන් 88-89දී ජ.වි.පෙ. විසින් ඝාතනය කරනු ලැබුවා. විදුහල්පතිවරුන් විතරක් 106ක් මරාදැම්මා.

“අපේ පැත්තෙ හිටපු ගීතා කුමාරසිංහ සජබෙට ගියාට අපට පාඩුවක් නැහැ. ඒ වෙනුවට අපේ පැත්තට ආපු තලතා අපිට ලොකු ශක්තියක්.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා:

“අපි දැක්කා සමාජ මාධ්‍යවල යනවා ජාතික ජන බලවේගයේ හමුදා නිලධාරියෙක් මැතිවරණ ජය ගත්තහම විරුද්ධවාදින්ට තර්ජනය කරන අයුරු. ඒ නිලධාරීයා එසේ තර්ජනය කරන විට ඔහු සමග සිටි තවත් නිලධාරියෙක් එය අනුමත නොකර එම ස්ථානයෙන් මඟහැර යනවා. මාත් හිටපු හමුදා නිලධාරියෙක්. හමුදා නිලධාරීන් සමාජය තුළ විනයක් ඇතිව හැසිරෙන්න ඕනැ. ”

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT