ජයා කන්ටේනර් ටර්මිනල් ලිමිඩට් ආයතනය ගත වූ වසර පහේ දී රුපියල් මිලියන 746ක ශුද්ධ ලාභයක් උපයාගෙන ඇතැයි එම සමාගමේ සභාපති, නීතිඥ ලක්මාල් රත්නායක මහතා පැවැසීය.
එම ආයතන පරිශ්‍රයේ පෙරේදා (10) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව 2020 වසරේ දී රුපියල් මිලියන 12ක්, 2021 වසරේ රුපියල් මිලියන 65ක්, 2022 වසරේ රුපියල් මිලියන 245ක්, 2023 වසරේ රුපියල් මිලියන 243ක් හා මේ වසරේ අගොස්තු මස අවසන් වන විට රුපියල් මිලියන 181ක ලාභයක් උපයාගත් බව හෙතෙම කීවේය.
මෙම ලාභය ලැබීම සඳහා 2020 වසරේ දී රුපියල් මිලියන 210ක්, 2021 වසරේ දී රුපියල් මිලියන 298ක්, 2022 වසරේ දී රුපියල් මිලියන 608ක්, 2023 වසරේ රුපියල් මිලියන 612ක් හා මේ වසරේ අගොස්තු මස අවසන් වන විට රුපියල් මිලියන 489ක ආදායමක් ඉපයීමට සමත් වූ බව සභාපතිවරයා සඳහන් කළේය.
රතු මුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායට නැව් පැමිණීම වැඩි වීමෙන් ආදායම විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් ආයතනයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තවත් ටැංකි දෙකක් ඉදිකිරීමට කටයුතු කරගෙන යන බවත් සභාපතිවරයා කියා සිටියේය.
ආයතනය දියුණු කරමින්, සේවක පහසුකම් හා නඩත්තු කිරීම් ද නිසි පරිදි සිදුකරමින් මෙම ලාභය ලැබූ බව පැවැසු සභාපතිවරයා එම ලාභය ලබා ගැනීමට එකිමෙන් වැඩකළ සියලු සේවකයන්ට සිය ස්තූතිය පුදකර සිටින බව කියා සිටියේය.
සිය සමාගමේ සියලු කොටස් සියයට සියයක් වරාය අධිකාරිය සතු බවත් අද මෙය විදේශ විනිමය උපයන වරාය අධිකාරියට බරක් නැති ආයතනයක් බවත් ඒ මහතා පැවැසීය.
කොළඹ වරායට පැමිණෙන සියලූම නෞකාවලට අවශ්‍ය නැව් තේල සැපයීම සදහා ලබඩා පහසුකම් සපයා දෙනු ලබන්නේ තම ආයතනය බව පැවැසූ ඒ මහතා ආයතනයේ 16 වැනි සංවත්සරය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව පැවැසීය.
සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
ඉතිහාසයේ වැඩිම ලාභය උපයන්න 2023 වසරේ දී අප සමත් උනා. එය මෙම වසරේ දී ඉක්මවා යැයි කියන විස්වාසය අපිට තිබෙනවා. අපි මේ සියල්ල කළේ ආයතනය සංවර්ධනය කරන ගමන්, සේවකයන්ටත් වරප්‍රසාද ලබා දීලයි. තෙල් ගබඩා කිරීමේ ධාරිතාව වැඩි කරන්න ටැංකියක් හදා අවසන් කරා. තිබෙන ධාරිතාව තව වැඩි කරන්න ඉදිරියේ තව ටැංකි දෙකක් ඉදි කිරීමට කටයුතු කරමින් තිබෙනවා.
මේ අවස්ථාවට එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය සිසිර කෝදාගොඩ, මුදල් කොට්ඨාශ ප්‍රධානී සුගන්ධිකා ලංසකාර, ඉංජිනේරු කොට්ඨාශ ප්‍රධානී නලින් විදානපතිරණ මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
නුවන් කොඩිකාර