ඉබ්බාගමුවේ ප්‍රසිද්ධ පාසලක නව වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුට එම වසරේම සිසුවකු කලාකිරිඤ්ඤයකින් හිසට පහර දීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
පහර කෑමට ලක්වූ සිසුවා සහ පහරදුන් බව කියන සිසුවා පසුගිය වසරේදී එකම පන්තියේ ඉගෙනුම ලබා ඇති අතර මේ වසරේදී දෙදෙනා වෙනත් පන්ති දෙකකට මාරුවී ඇති බවද පැවසේ. කලින් ඔවුන් දෙදෙනා සමීප මිතුරන්ව සිටි බව ද කියයි.
පෙරේදා (9) දහවල් පාසල පැවැත්වෙන අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇත. හරක් අඟකින් සාදන ලද යකඩ උල් සහිත එම ආයුධයෙන් පහරදීම නිසා ඔහුගේ හිසේ ස්ථාන කිහිපයකටම තදබල තුවාල සිදුව තිබේ.
තුවාල ලද සිසුවා කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ අයෙකි. පහරදුන් සිසුවා මැල්සිරිපුර මඩහපොළ අයෙකි. තුවාල ලැබූ සිසුවාගේ පියා යුද හමුදා පොලිසියේ විශ්‍රාමික නිලධාරියෙකි. ඔහු කියා සිටියේ තම පුතුගේ හිසට එල්ලවී ඇති පහරවල් ඉතා මාරාන්තික බවය. පහර දුන් බව කියන සිසුවාට මීට පෙර පාසලට තූල් නමැති මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ චෝදනාවක්ද තිබෙන බව ද සඳහන් කළේය.
මෙම සිසුන් දෙදෙනා අතර ජංගම දුරකතන මගින් සිදුව ඇති වාචික වචන හුවමාරුවක් මෙම ප්‍රහාරයට හේතුවවී ඇති බව පැවසේ.
තුවාල ලද සිසුවාගේ පියා පහරදීම සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසියට පැමිණිල්ලක්ද කර ඇතත් සැකකාර සිසුවා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. පියා මේ සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලයටද පැමිණිලි කර ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් පහර කෑමට ලක්වූ සිසුවාගෙන් කුරුණෑගල රෝහල් පොලිසිය ප්‍රකාශයක් ද ලබාගෙන ඇත.
කුරුණෑගල අතිරේක
පුෂ්පකුමාර ජයරත්න