Home » දිඹුලාගල සෙල් ලිපියේ බැංකු සමාන ආයතන තුනක විස්තර

දිඹුලාගල සෙල් ලිපියේ බැංකු සමාන ආයතන තුනක විස්තර

-මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි

by sachintha
September 11, 2024 1:26 am 0 comment

සෙල් ලිපිය සද්ධාතිස්ස යුගයට අයත් එකක්

අවුරුදු 2200කට පෙර ලියන ලද දිඹුලාගල නාමල්පොකුණ සෙල් ලිපියේ මුලතන, දෙවතන, බදනනම අරිහතන වශයෙන් බැංකුවලට සමාන මූල්‍ය ආයතන තුනක් පිළිබඳව සඳහන් වන බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

දිඹුලාගල නාමල්පොකුණ සෙල් ලිපිය අර්ථ ගන්වා මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම ඊයේ (10) දින කොළඹ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මුලස්ථානයේදී සිදුවූ අතර එම අවස්ථාවට සහභාගි වෙමින් මහාචාර්යවරයා එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෙල්ලිපිය කියවීම සඳහා පත්කල විද්වත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා-

පසුගිය කාල පරිච්ඡේදයේදී අප සාමූහික ප්‍රයත්නයක් ලෙස දිඹුලාගල නාමල්පොකුණ ප්‍රදේශයෙන් හමුවූ ශිලා ලේඛනය කියෙව්වා. එහි සංක්ෂිප්ත අර්ථය මම ඉදිරිපත් කරනවා. මෙහි පූර්ණ වාර්තාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට භාරදී තිබෙනවා. මෙම ශිලා ලේඛනය ස්වාභාවික සංසිද්ධියක් නිසා පුපුරා දෙපළු වී ගිය ගල් කුලක පූර්ව සකස් කිරීමකින් තොරව ලියන ලද්දක්. මෙම ශිලා ලේඛනයේ අක්ෂර පේලි 11ක් අපට හඳුනාගන්න පුළුවන් වුණා. ශිලා ලේඛනය ලිවීම සඳහා ආදි බ්‍රාහ්මීය හෙවත් පූර්ණ බ්‍රාහ්මීය අක්ෂර මාලාව පාවිච්චි කර තිබුණා. ඒ සඳහා අක්ෂර වර්ග 23ක් පාවිච්චි කර ඇති අතර ඊට අමතරව අපට සංකේත දෙකක් හඳුනාගන්න පුළුවන්කම තිබුණා. භාෂාව හැටියට ගත්තොත් සිංහල ප්‍රාකෘත භාෂාව පාවිච්චි කර තිබෙනවා. ලිපියේ කාලය සහ කර්තෘත්වය ඉතා වැදගත් වෙනවා. ඒ පිළිබඳව අප පැහැදිලිව හඳුනාගත්තා මෙම ශිලා ලේඛනයේ තිබෙන නම් අනුව මෙහි තිබෙනවා අය තිශ කියන නාමය. අප හඳුනාගත්තා කාවන්තිස්ස රජතුමා කියා. මහරඣ තිශ වශයෙන් තිබෙනවා. අප නිවැරදිව හඳුනා ගත්තා සද්ධාතිස්ස රජතුමාට අයිතියි කියා. ඒ අනුව අප විශ්වස කරනවා මේ ශිලා ලේඛනය සද්ධාතිස්ස රජතුමාගේ කාලයේ තවත් තේරෙන විදිහකින් කීවොත් අදින් අවුරුදු 2200කට පෙර ලියන ලද ශිලා ලේඛනයක් බව. මෙහි විශේෂත්වය තමයි මෙතෙක් අපේ රටෙන් ලැබී තිබෙන පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියන ලද විශාලම ශිලා ලේඛණය. මෙය අතිශය වැදගත් කාරණාවක්. ලෝකයේ අනෙක් රටවල් සමඟ මෙම සසඳා බැලිය යුතුයි. ඒ වගේම මෙහි තවත් වැදගත්කමක් තමයි අපිට වැඩිම පිරිසකගේ දායකත්වයක් දරන පැරණිම ශිලා ලේඛනයක් හමුවෙනවා නම් මෙම දිඹුලාගල ශිලා ලේඛන යයි. ශාසනය වෙනුවෙන් කරන ලද මහා පරිමාණ පරිත්‍යාග පිළිබඳව සඳහන් වන මෙතෙක් හමුවෙලා තිබෙන පැරණිම සෙල් ලිපිය ලෙසත් මෙම ශෙල් ලිපිය හඳුන්වනන් පුළුවන්. ඒ වගේම අනුරාධපුර රාජධානි සමයේ මුල් අවධියේ දිවයිනේ නැඟෙනහිර පළාතේ විශේෂයෙන් දිඹුලාගල කලාපය සම්බන්ධයෙන් තොරතුරු අති විශාල ප්‍රමාණයක් අනාවරණය වන ශිලා ලේඛනයක් ලෙසද මෙය හැඳින්විය හැකියි. සෙල් ලිපියේ අන්තර්ගතය ගත්තොත් ශිලා ලේඛනයේ පළමුපේලිය අවාසනාවකට සම්පූර්ණයෙන්ම ගෙවිල ගිහිල්ල තියෙන්නෙ. ඒ නිසා අපට කිසිදු අර්ථයක් පළමු පේලියෙන් ලබා ගන්න බැහැ. එහි ඉතා වැදගත් තොරතුරු තියෙන්න ඇති. දෙවෙනි, තුන්වන, හතර සහ නව වන පේළිවල සැලකිය යුතු කොටසක් මැකී ගොස් තිබෙනවා. අපට තැනින් තැන තමයි එහි අර්ථ ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙන්නෙ. අපි මේ ඉදිරිපත් කරන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා ස්පර්ශ ලාංඡන පිටපතක්. ඇහෙන් බලා පිටපත් ලබා ගත්තා. ඡායාරූප අප ගත්තා. මේ සියලුම ආකාර කියවීම්වලින් තමයි අප මේ ශිලා ලේඛනයට අර්ථ දෙන්න උත්සාහ ගත්තෙ. මේ ශිලා ලේඛනය තියෙන ස්ථාන නාමය පිළිබඳව සැලකුවොත් අප හුඟක් උත්සාහ ගත්තා මේ සෙල් ලිපියෙන් පුළුවන්ද කියා අපට ඒ ස්ථාන නාමය හඳුනාගන්න. නමුත් අවාසනාවකට අපට නිශ්චිතව ඒ ස්ථාන නාමය හඳුනාගන්න නොහැකි වුණා. නමුත් ඒ ශිලා ලේඛනයේ තියෙනවා අජගිරි (අච්චගිරි) කියන වචනයක්. අප විශ්වාස කරනවා ඒ අජගිරි කියන වචනය ඒ ස්ථානය හැඳින්වීම සඳහා පාවිච්චි කරපු පැරණිම නාමය විය හැකියි කියා. දේශපාලන වශයෙන් ගත්තොත් එහෙම අපට මේ ශිලා ලේඛනයෙන් පේනවා ලංකාව පාලනය ඒකක හැටියට කොටස් කිහිපයකට බෙදල රජවරු විසින් පාලකයින් විසින් පාලනය කරපු බව අපට තහවුරු කර ගන්න පුළුවන් කම තිබුණා. මේ ශිලා ලේඛනයේ ඉතාමත් වැදගත් රජ පරපුරක් පිලිබඳව අපට හමුවෙනවා. දේවමුෂික නම් කර්ණිකාව පාලනය කළ පියපුතු පරපුරක් ගැන තියෙනවා. ඒ පියපුතු පරම්පරාවේ ගමණී අශලිය නම් රජකෙනෙකු පිළිබඳව ඒ වගේම ඔහුගේ පුත්‍ර ශිව කියල කෙනෙක් පිළිබඳව ඒ වගේම සූරතිස්ස කියල කුමාරයෙක් පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා. මොවුන් පැහැදිලිව අපට යම් ප්‍රමාණයකට හඳුනාගන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම මුලින් කීවා වගේ මේ ශිලා ලේඛනයේ පස්වෙනි පේලියේ අය තිශ කියා කාවන්තිස්ස රජතුමාත් මහරඣ තිශ වශයෙන් සද්ධාතිස්ස රජතුමාගේ නමත් අපට කියවගන්න, හඳුනාගන්න පුළුවන්කම තිබුණ. ඊට අමතරව අපට දිපරඣ යනුවෙක් කිසියම් රාජ්‍ය පාලකයෙකු පිළිබඳව තොරතුරකුත් මේ ශිලා ලේඛනයෙන් අනාවරනය කරගන්න පුළුවන්කම ලැබුණා. ඇත්තෙන්ම දිපරඣ කියන නාමය මිහින්තලේ ශිලා ලේඛනයකිනුත් අපට හදුනා ගන්න පුළුවන්කම තිබෙනවා. නමුත් මේ රජවරු දෙන්නාම එක්කෙනෙක්ද කියන එක පිළිබඳවත් අපට සැකයක් තියෙනවා. ආර්ථික වශයෙන් ගත්තහම මෙතෙක් ශිලා ලේඛනවලින් අනාවරණය නොවු ඉතා වැදගත් කරුණු රාශියක් අනාවරණය කර ගන්න පුළුවන්කම තිබුණ. මේ සෙල් ලිපියේ කෘෂි ආර්ථිකය පිළිබඳවත්, වෙ‍ෙළඳ ආර්ථිකය පිළිබඳවත් ලොකු තොරතුරු අනාවරණයවෙලා, වාර්තාවෙලා තිබෙනවා. විශේෂයෙන්ම කුඹුරු බදු පිළිබඳව, බිම් බදු පිළිබඳව, ඉඩම් කොටස් ආරාමවලට පූජා කිරීම පිලිබඳව, ඒ බදු ආරාමයේ පරිහරණය සඳහා කවර ආකාරයටද යොදාගත යුත්තෙ කියන කාරණය පිළිබඳවත් තොරතුරු වාර්තා වුණා. ඒ වගේම මේ ශිලා ලේඛනයේ විවිධ බදු වර්ග කොටස් සංඛ්‍යාත්මකව දක්වා තිබීමත් නැත්නම් ලියා තැබිමත් දක්නට පුළුවන්. විශේෂයෙන් 24, 23, 51, 04 ආදී වශයෙන් සංඛ්‍යාවාචීව ඒවායේ අගය දක්වලා තිබෙනවා. ඒ එක්කම ලංකාවේ බැංකුවලට සමාන කළ හැකි කිසියම් වෙ‍ෙළඳ ආයතන හෝ මූල්‍ය ආයතන පිළිබඳව තොරතුරු මේ සෙල් ලිපියෙන් අනාවරණය වනවා. ඒක ලංකාවේ පළ වෙනි අවස්ථාව තමයි අපට එතරම් පැරණි ශිලා ලේඛනයක බැංකුවලට සමාන ආයතන පිළිබඳව වාර්තා වන එක. එබඳු මූල්‍ය ආයතන තුනක් පිළිබඳව සඳහන් වෙනවා. මුලතන, දෙවතන, බදනනම් අරිහතන වශයෙන් ඒවා හඳුන්වලා තියෙනවා. මිට අමතරව ආරාමික ප්‍රධාන හැටියට අපි ගත්තොත් එහෙම ලංකාවේ ආදි බ්‍රාහ්මීය ශිලා ලේඛන හැම එකකම වගේ වාර්තා වන්නෙ ආගමික පරිත්‍යාගයන් තමයි. නමුත් අදින් අවුරුදු 2200කට ඉහතදී දිඹුලාගල කලාපයේ බුදු දහම ඉතාම හොඳින් ව්‍යාප්තවෙලා තිබුණ බව අපට මේ ශිලා ලේඛනයෙන් අනාවරණය කර ගන්න පුළුවන්. මේ ආරණ්‍යයේ සංවර්ධනය සඳහා රාජකීය කොටස්, භික්ෂූන් වහන්සේලා, විවිධ වෘත්තිකයින් සහ සාමානය ජනතාව විසින් කරන ලද පරිත්‍යාගයන් අපට හඳුනාගන්න පුළුවන්කම තිබුණ. මේ අතර අශ්වාරෝහකයින්, තිස්ස කුමාරයා වැනි උදවිය, චිත්‍ර ශිල්පීන්, දාසයින්, කාර්මිකයින් ආරාමයට යෙදවිම් පිළිබඳව තොරතුරු මෙයින් අනාවරණය වුණා. සාමාජික වශයෙන් ගත්තොත් අපට ඒ සමාජයේ වෘත්තිකයින් ලෙස අශ්වාරෝහකයින් ජීවත් වූ බව, ඒ වගේම ආචාර්යවරුන් චිත්‍ර ශිල්පීන් කාර්මික ශිල්පීන් දාසයන් බ්‍රාහ්මණයන් මැණික් කර්මාන්තකරුවන් ගැන සඳහන්. යකඩ කර්මාන්තකරුවන් මේ ආරාමයේ සංවර්ධනය සඳහා දායකත්වය සැපයූ බවත් තෙරෙතුරු අනාවරණය කර ගන්න පුළුවන්.

පොදුවේ ගත් කළ අනුරාධපුර රාජධානි සමයේ මුල් අවදියේ දේශපාලන, ආර්ථික, ආගමික, සාමාජික, තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය වන මේ ශිලා ලේඛනය ඉදිරියේදී ඉතිහාෂඥයින්, පුරාවිද්‍යාඥයින් භාෂා විශාරදඥයින් විසින් අධ්‍යයනය කළ යුතුයි. මේ ශිලා ලේඛනය මහාර්ඝ වස්තුවක් ලෙස අපි සලකනවා. අපේ උරුමයක් ලෙස ආරක්ෂා කළ යුතු වෙනවා. මෙය කල්ප වෘක්ෂයක් කරගත යුතුයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා-

පසුගිය කාලයේ මෙරට වැඩි වශයෙන් කතාබහට ලක්වූ දිඹුලාගල නාමල්පොකුණ ප්‍රදේශයෙන් සොයාගත් සෙල් ලිපිය අර්ථ ගැන්වීම් කර එහි සඳහන් වන දේ අද දින රටට හෙළිකරනවා. මෙම සෙල් ලිපියේ ආරක්ෂාව සඳහා මේ වන විට කටයුතු කර ඇති බවත් මෙය මෙරට මහජනතාවට මෙන්ම විදෙස් සංචාරකින්ට නැරඹීම සඳහා සකස් කරනවා.

මෙහිදී මහාචාර්ය රත්නසිරි අරංගල, ආචාර්ය බුද්දිනාගොඩ විතාන, ආචාර්ය අර්ජුන තන්තිලගේ මහත්වරුන්ද අදහස් දැක්වූහ. මෙම සෙල් ලිපිය කියවීමේ කටයුතුවලට සහභාගි වූ අභාවප්‍රාප්ත ආචාර්ය මාලනී ඩයස් මහත්මිය ද මෙහිදී සිහිකරන ලදී.

ඡායාරූප- දුෂ්මන්ත මායාදුන්න

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT