Home » එලිසොන්ඩෝ ප්‍රකාශය

එලිසොන්ඩෝ ප්‍රකාශය

by sachintha
September 11, 2024 1:00 am 0 comment

ඔවුන් සිටියේ කොහේදැයි අපි දනිමු. ඔවුන් සිටින්නේ කොහේදැයි අපි නොදනිමු” යැයි ප්‍රකාශ කළේ ලුයිස් එලිසොන්ඩෝය. ඡන්ද ප්‍රතිඵලය ගැන තම තම නැණ පමණින් සිහින දකින මේ සමයේ පිට සක්වළ ජීවියෙක් ගේ මැද්දට පහත් වුවද හෙතෙම සමඟ ද දේශපාලනය දොඩවනවා හැර අන් යමක් සඳහා අපගේ සිත මේ කාලයේ, ඉඩ දෙන්නේ නැත. ඒතරමට අප දේශපාලන සත්ත්වයෝ වී හමාරය.

ලෝකය පුරා විටින්විට මාකට් කළ හැකි කතා අතර පිටසක්වළ ජීවියා යන්න සේල් නොදමා, ඩිස්කවුන්ට් ආදිය නොමැතිව පළමු වාරිකය ගෙවා ඉතිරිය කොටස් වශයෙන් ගෙවන්න… ආදී මාර්කටින් සීන් කතා නැතිව, ජයට වෙ‍ෙළඳාම් කළ හැකි යමකි. අද්භූත යන්න සඳහා ඕනෑම භෞතිකවාදියෙක් පවා සැලෙන්නේය. ඒතරමට මේ කාරණා මිනිස් මනසේ නිදන්ගතව ඇත්තේය.

ඊයේ දිනමිණ සිය මුල් පිටුවෙන් වාර්තා කරන ලද්දේ ලුයිස් එලිසොන්ඩෝ කළ ප්‍රකාශයක් පිළිබඳවය. ඡන්ද කතා අස්සේ මේ කතාව අසන කල පාඨකයා වෙත මැතිවරණ වේදිකාව ද සිතට නැඟෙනවා ඇත. මේ කියන වර්ගයේ සත්ත්ව කොට්ඨාසයක් මේ දවස්වල වේදිකා පැත්තේ රඟනා රංගන දකින විට ඒ සත්ත්වයෝ පහළට බැස ඇත්තේ යැයි සිතා, උනුන් බදාගෙන යෑමට නොයන මෙන් මේ තීරුව ආයාචනා කරනුයේ, විසි එක් වෙනිදායින් පසුව පරණ බඩු ටිකම නියත ලෙස දැකිය හැකි හෙයිනි.

ලුයිස් එලිසොන්ඩෝ යනු එක්සත් ජනපදයේ හමුදා බුද්ධි නිලධාරියකු ලෙස සේවය කළ මහතෙකි. ඔහු පෙන්ටගනයෙන් වැටුප් ලබා ගත්තේ උසස් ගුවන් තාක්ෂණ තර්ජන හඳුනා ගැනීමේ වැඩසටහන සඳහා සේවය සලසමිනි. මේ වනාහි 2007-2012 කාලය තුළ අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ රහසිගත වැඩසටහනකි. වායුගෝලයෙන් ඇතුළු වෙන විද්‍යාත්මක තර්ජන සහ නාඳුනන ගුවන් වස්තු පිළිබඳව පරික්ෂා කිරීම මේ යටතේ සිදු විය.

පෙන්ටගනයෙන් ඉල්ලා අස්වූ එලිසොන්ඩෝ එම විෂයය පිළිබඳවම දිගින් දිගටම ආයතන රැසක සේවයේ යෙදුණි. ඉස්සර කාලයේ මේ විෂයයට අයත් දේ සඳහා යොදනු ලැබුවේ හඳුනා නොගත් ආකාශ වස්තු යන යෙදුමය. දැන් ඒ සඳහා භාවිත වන්නේ ඊට වඩා පුළුල් පාරාසයක් දරනා ‘හඳුනානොගත් ආකාශ සංසිද්ධි’ යන්නය. මේ විෂයයෙහි උඩ පහත ආදී සියල්ල අතගා බැලූ එලිසොන්ඩෝ එක්සත් ජනපදයේ රහස් ගබඩාවක්, පොතක් ලෙස පසුගියදා මුදා හැරියේය. පෘථිවියෙන් පිටසක්වළ ජීවීන්ගේ මළසිරුරු සොයාගැනීම සත්‍ය බවත්, ඒ පිළිබඳ අමෙරිකානු රජය දැන සිටි බවත් පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියා සිය පොතෙන් හෙළිදරව් කරන්නේය. ඔවුන් සිටියේ කොහේදැයි අපි දනිමු. ඔවුන් සිටින්නේ කොහේදැයි අපි නොදනිමු” යනුවෙන් ඒ මහතා කියා සිටින්නේ, පිට සක්වල ජීවීන් පිළිබඳව ඔහු දැන සිටි බවත් ඒ වග ලෝකයාට එක්සත් ජනපදය වසන් කර ඇති බවත්ය.

මෙම නිලධාරියා සැප්තැම්බර් 11 නිව්යෝර්ක් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් අනාවරණය කර ගැනීම සඳහා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ අයකු ලෙස කීර්තියට පත්ව ඇත්තේය. මේ ප්‍රහාරය එල්ල වී අදට වසර විසි තුනකි.

ප්‍රහාරයෙන් පසු සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් එරට ජාතිය සහ කොංග්‍රසය පමණක් නොව ලෝකයාම ඇමතුවේය. හේ එතැනදී භාවිත කළේ හීබෲ බයිබලයේ ජෝශුවාගේ පොතේ එන වාක්‍ය ඛණ්ඩයක වෙනස් තාලයකි. ‘සෑම කලාපයකම, සෑම ජාතියකටම, දැන් තීරණයක් ගැනීමට තිබේ. එක්කෝ ඔබ අප සමඟය. නැතහොත් ඔබ ත්‍රස්තවාදීන් සමඟය.’

ජනාධිපතිවරණය සඳහා තව ඇත්තේ දින දහයකි. විසි වැනිදා සන්ධ්‍යාවේ මැතිවරණ කොමිසම වයන සුපුරුදු පදය වන්නේ ‘උදෑසනින්ම ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කරන්න. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා දැඩි දඬුවම්’ කියාය. ඒ අනුව උදෑසනම ඡන්ද පොළට යන ඡන්ද බලය හිමි පුරවැසියා, බුෂ්ගේ කියමන සිහියට නගා ගත යුත්තේය. මේ රටට පුෂ් එකක් දිය හැකි තීන්දුවක් ගැනීම පරම පුරවැසි යුතුකමය. රටේ ගමන අද ඇත්තේ තීරණාත්මක ඉමකය. වැඩිදුර යා යුතු නැත. වටපිටාව දෙස ඇස්, කන් යොමා බැලූ විට ස්ථාවරය පැහැදිලි කර ගත හැකිය. දකුණු ආසියාවේ තෙදවත් රටක් වූ පාකිස්ථානය දැන් තාප්පයටම හේත්තු වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඩොලර් බිලියන 7 ක ගිවිසුමක් සඳහා යෑමට පාකිස්ථානය උත්සාහ දරන්නේය. එය අපහසු කාර්යයක් වී ඇත්තේය. ජූලි දෙවන සතියේ මේ සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා අත්සන් තබා ඇත්තේ වුවද, ගනුදෙනුව සඳහා මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් නිල අනුමැතියක් ලැබිය යුතුය, පාකිස්ථාන මිත්‍රයාගේ වුවමනාව මෙවර සිය න්‍යාය පත්‍රය සඳහා මූල්‍ය අරමුදල ඇතුළත් කර නැත්තේ හෙයින් ඒ රටේ ආර්ථිකය තවම අසරණ ලීලාවෙන් වැටී සිටින්නේය. බංග්ලාදේශය පිළිබඳව කතා කළ නොහැකිය. එහි ඇති සියලු බඩු මුට්ටු පටවාගෙන ඒම පමණක් ආයෝජකයන්ගේ අභිප්‍රාය බැවින් මුල සිටම රටේ ආර්ථිකය ආරම්භ කිරීමට එරටට සිදුවෙනවා ඇත. මාලදිවයින මේ දිනවල ආර්ථික ලෝකයේ සැරිසරන්නේ වද මල් මාලයක් කරේ දමාගෙනය.

මෙම දූපත් රාජ්‍යය, දුප්පත් රාජ්‍යයක් බවට පත්වෙමින් ඇත්තේය. ණය අර්බුදයේ පරිමාණය විස්මයජනක ය. 2024 මාර්තු වන විට සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 8.3කි. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 110.1%ක් වන විට, ඩොලර් බිලියන 7.38 කින් සහ ඇපකර ණය ඩොලර් මිලියන 921කින් එම ණය පරිමාණය සමන්විතය. රටේ ආර්ථික ස්ථාවරත්වය නාය යවමින්, විදේශ ණය ඩොලර් බිලියන 3.4ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 45%ක් ලෙස පවතින තරමට තත්ත්වය දරුණුය.

මේ අවස්ථාවේදී රටේ තීරක ප්‍රශ්නය සඳහා වටේ යන පිරිස වැඩිය. රට වටේ ඇති අනෙක් රටවල් දෙස බලා හෝ ඒ පිරිස ඇත්ත සමඟ සිට ගන්නේ නැත. “එක්කෝ ඔබ අප සමඟය. නැතහොත් ඔබ සතුරන් සමඟය.’ යන කියමන ඒ සියල්ලන් සඳහා සාධාරණය.

මේ මොහොතේ සාක් කලාපයම සිටින අර්බුදය පැහැදිලිය. ශ්‍රී ලංකාව පසු කරන ලද්දේ ඒ සියල්ලන්ටම වඩා දරුණු හෝරාවකි. දැන් සකල ශ්‍රී ලාංකිකයන්ම ‘ඡන්දය ඉල්ලන’ වේදිකාවෙන් පළමුව ඇසිය යුත්තේ ‘ඔවුන් සිටියේ කොහේදැයි අපි දනිමු. ඔවුන් සිටින්නේ කොහේදැයි අපි නොදනිමු” යන ලුයිස් එලිසොන්ඩෝගේ කියමනය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT