මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයක දී හිසකෙස් සකස් කිරීමට ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් කාන්තාවකගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ එහි සේවිකාවන් දෙදෙනා පොලිසිය තවමත් අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පාරිභෝගික සේවා අධිකාරියට කරන ලද නියෝග ප්‍රකාරව කටයුතු කිරීමට බාධාවක් වී ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
එම රූපලාවණ්‍යාගාරයේ ඇති ආලේපන ඇතුළු ද්‍රව්‍ය පරීක්ෂා කර බලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය ඉකුත් (02) දා පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළාය.
මෙම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය සහ සේවිකාවන් දෙදෙනා සිද්ධිය වූ ඉකුත් (30) දා අදාළ සිද්ධියෙන් පසු රූපලාවණ්‍යාගාරය වසා දමා නිවෙස්වලින් ද පලා ගොස් තිබූ අතර, පසුව සිද්ධිය පිළිබඳ මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ සේවිකාවක් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් සෝදිසි වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය.
දැනට ඉබි යතුරු දමා ඇති එම රූපලාවණ්‍යාගාරයේ ඉබි යතුරු කඩා විවෘත කිරීමට තමන් හට බලයක් නැතැයි පවසන පාරිභෝගික සේවා අධිකාරිය පොලිසිය මඟින් රූපලාවණ්‍යාගාරයේ හිමිකාරියව අත්අඩංගුවට ගෙන ඇය ඉදිරියේ හෝ ඇයගේ ඥාතියකු ඉදිරියේ එහි ඉබි යතුරු කඩා විවෘත කරන්නේ නම් පාරිභෝගික සේවා අධිකාරියට සිය රාජකාරී කටයුතු සිදු කළ හැකි බවත් එසේ නොමැතිව එම රූපලාවණ්‍යාගාරයේ ඉබි යතුරු කඩා විවෘත කිරීමට නීතිමය බලයක් නොමැති බව ද පාරිභෝගික සේවා අධිකාරිය කියා සිටියි.
මේ පිළිබඳ මිනුවන්ගොඩ පොලිසියෙන් අප කළ විමසීමක දී පොලිසිය පැවසුවේ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ එහි සේවිකාවන් දෙදෙනා නිවෙස්වලින් පලා ගොස් සැඟවී මේ වන විට දින දහයක් ගතවී ඇති අතර ඔවුන් තිදෙනාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දිවා රාත්‍රී දෙකෙහිම සෝදිසි කිරීම් සිදු කරන බවයි. එසේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද නිවෙස් වසා දමා ගොස් ඇති බව පොලිසිය පවසයි.
මිනුවන්ගොඩ – ටෙඩී කීර්ති