Tuesday, April 22, 2025
Home » ඥාති සංග්‍රහ – රට වටා ජනපති මන්දිර අසීමිත මන්ත්‍රී වරප්‍රසාද අපේ පාලනයේදී නෑ

ඥාති සංග්‍රහ – රට වටා ජනපති මන්දිර අසීමිත මන්ත්‍රී වරප්‍රසාද අපේ පාලනයේදී නෑ

-ජාජබ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස

by sachintha
September 10, 2024 1:39 am 0 comment

“අද ඇමැතිගෙ නෝනා පෞද්ගලික ලේකම්. පුතා සම්බන්ධීකරණ ලේකම්. බෑණෙක් ඉන්නවා නම් එයා මහජන සම්බන්ධතා නිලධාරි. අපේ ආණ්ඩුවක් ආවහම මේවා මොකුත් නෑ. ඥාති සංග්‍රහවලට අපෙන් ඉඩක් නෑ. ඇමැතිට ඉස්සරහිනුයි පස්සෙනුයි යන්න වාහන කිහිපයක් නෑ. තියෙන්නෙ ඇමැතිගෙ වාහනය විතරයි” යනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, කළුතර දිස්ත්‍රික් සංවිධායක නලින්ද ජයතිස්ස මහතා ඉංගිරියේදී පැවසීය.

නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පසුගියදා ඉංගිරිය නගරයේ සංවිධානය කර තිබූ ජනතා හමුවකදීය. මෙහිදී තවදුරටක් අදහස් දැක්වූ ජයතිස්ස මහතා මෙසේ ද කීය.

“අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව ලියලා තියෙනවා කොහොමද අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නෙ කියලා. ඉන් එකක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෝටි තුනහමාරට හතරට විකුණගන්න දෙන වාහන පර්මිට් එක අපි පත්වුණු මුල් අවස්ථාවෙදීම අහෝසි කරනවා. ඒ වගේම මන්ත්‍රීවරුන්ට ලබා දෙන විශ්‍රාම වැටුප අහෝසි කරනවා. මෙතැන ඉන්න රජයේ සේවකයෝ අඩුම තරමේ අවුරුදු 35ක්වත් සේවය කරන්න ඕනෑ විශ්‍රාම වැටුපක් ගන්න. ඒත් මන්ත්‍රී කෙනෙක් අවුරුදු පහක් හිටියම ඇති විශ්‍රාම වැටුපකට උරුමකම් කියන්න. මේ ක්‍රමය අපි වෙනස් කරනවා. අපි බලයට පත්වෙලා නොවැම්බර් මාසෙ තුන්වැනි සතිය වෙද්දි පාර්ලිමේන්තු මැතිවරණය තියලා මහජන ආණ්ඩුවක් හදනවා. ඒක සම්පූර්ණ වුණහම මහජන බලය සම්පූර්ණයි. ජනාධිපති අපේ, ආණ්ඩුව, ඒ කියන්නෙ මහජනතාව අපේ. අන්න ඒ මහජන ආණ්ඩුවට පුළුවන් මෙතෙක් කල් ගොඩනඟන්න බෑ බෑ කියපු රට ගොඩනඟන්න. අපට අවශ්‍ය ඔබට ලස්සන පොහොසත් ජීවිතයක් උරුම කර දීමයි. මෙතෙක් කල් පොහොසත් වුණේ ඒගොල්ලෝ. ඔබේ බදු මුදලින් ලස්සන ජීවිත ගත කළේ ඒගොල්ලො. දරුවට ඇඳුමක් අරන් නොදී, ඔබේ දරුවාගේ විනෝදය කපා දමලා, බෙහෙත්හේත් ගන්න එක අඩු කරලා, ඔබ භාණ්ඩාගාරයට බදු ගෙව්වා. අන්න ඒක වෙනස් කරලා අපි හදනවා වෙනම දේශපාලන සංස්කෘතියක්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඥාතිකම්වලට තැනක් නෑ. ඒ තනතුරු ජනතාවගේ බදු මුදලින් යැපෙන ඒවා. ඒ නිසා මහජනතාවට අයිතියක් තියෙනවා ඔවුන්ගේ සුදුසුකම් දැනගන්න. අපේ ආණ්ඩුව යටතේ අමාත්‍යංශ තියෙන්නෙ විසිපහයි. විශ්‍රාමික ජනාධිපති, එතකොට ඔහු හෝ ඇය මියගියාම ඔහුගේ හෝ ඇයගේ සැමියා හෝ බිරිය බලාගන්න ආණ්ඩුවට අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔබේ බරෙන් අපි ඒවා නිදහස් කරනවා. ඒ වගේම රට පුරාම තියෙන ජනාධිපති මන්දිර අපි නැති කරනවා. කොළඹ එක මන්දිරයක් පමණක් ප්‍රමාණවත් අදාළ රාජකාරිවලට. ඊට අමතරව අනුරාධපුර, බදුල්ල, බණ්ඩාරවෙල, උණවටුන, යාපනය ආදී ප්‍රදේශවල තියෙන ජනාධිපති මන්දිර අපි රටේ ආර්ථිකය දියුණු කරන්න, සංචාරක කර්මාන්තය නඟාසිටුවන්න යොදා ගන්නවා. සැප්තැම්බර් 21 දිනය වනතුරු ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිනවා. මෙතෙක් කල් ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත් ජනතාව සැබෑ ජනතා නායකයෙක් රටේ මුල් පුටුවට ගෙනෙන දිනය එදිනයි.”

ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT