Tuesday, April 22, 2025
Home » නාමල්ව විපක්ෂ නායක කරන්න සජිත් මහින්දට පොරොන්දු දීලා නිවට නායකයකු යටතේ මම වැඩ කරන්නෙ නෑ

නාමල්ව විපක්ෂ නායක කරන්න සජිත් මහින්දට පොරොන්දු දීලා නිවට නායකයකු යටතේ මම වැඩ කරන්නෙ නෑ

-ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා

by sachintha
September 10, 2024 1:38 am 0 comment

“අරගලය අවස්ථාවේ අපි රට වෙනුවෙන් අවුරුද්දකට මේ පාලනය බාරගමු කියලා සජිත් ප්‍රේමදාස මහතාට කිව්වා. එයා මට බහුතරයක් නැතුව මං ආණ්ඩු කරන්නේ නෑ කියලා කර ඇරියා. මේ සජිත් ප්‍රේමදාස නායකයා මොනතරම් නිවට නායකයෙක් ද කියලා මට ඒ වෙලාවේ තේරුණා. ජනාධිපතිතුමා තෝරන වෙලාවෙ අපි කිව්වා පාර්ලිමේන්තුවේදී සජිත්ට ඒකට ඉදිරිපත් වෙන්න කියලා. මන්ත්‍රීලා තුන්දෙනෙක් හිටපු අනුර කුමාරත් ඉදිරිපත් වුණා. හැබැයි සජිත් ප්‍රේමදාස ඒකෙන් පැනලා ගියා. මට එදා සජිත් ප්‍රේමදාස ගැන තිබුණු ගරුත්වය නැති වුණා” යැයි ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා අනුරාධපුර නව නැවතුම්පොළේ පැවැති ජනාධිපතිවරණ රැස්වීමක් අමතමිනි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීය.

“අවුරුදු පහකට හයකට වරක් උදා වෙන වැදගත් අවස්ථාවක් ලබන 21 වැනිදාට උදා වෙනවා. ඔබට පරමාධිපත්‍ය බලයක් එදාට ලැබෙනවා. මෙතෙක් කල් එක එක නායකයන් ගැන විශ්වාසය තියලා ඔබ නායකයෝ තෝරා ගත්තා. තමන් පක්ෂ දෙක තුනට බෙදිලා නායකයෝ බලයට ගේන්න තීරණය ගත්තා. ඔබ ඒ ගත්තු තීරණ නිවැරදි නෑ කියලා අද ඔබට තේරෙනවා. ඒ නායකයන් තමුන්නාන්සේලාව රවටා බලය ලබා ගත්තා. බුද්ධිමත් තීරණයක් නොගත්තොත් රටම අනතුරේ. එහෙම නොවුණොත් අනාගත පරම්පරාවට ජීවත් වෙන්න රටක් නැතුව යනවා. තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් අනුව ජීවත්වෙන්න රටක් නැතුව යනවා. ලබන 21 වැනිදාට තමුන්නාන්සේලා සියයට අනූපහක් පාවෙන ඡන්ද බවට පත්වෙලා මේ රටේ අනාගතයේ දරුවන් ගැන හිතලා උදේට ඡන්ද පොළට යන්න කියලා මම ඉල්ලනවා. මට බෑ නිවට නායකයකු යටතේ වැඩ කරන්න. මට බෑ නිවට නායකයාගේ තීන්දුවලට ගරු කරන්න. බදුල්ලේ තිබුණු සමගි ජන බලවේගයේ රැස්වීමේදී සජිත් ඉස්සරහින් වාඩිවෙලා හිටියා. මම එතැනදි කිව්වා අපි අතීතය ගැන කතා කරන එක නතර කරමු. ඔබතුමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගැන කතා කරන එක නතර කර මේ රටේ වර්තමාන තරුණ පරපුරේ අනාගතය ගැන කතා කරමු කියලා. වර්තමානය ගැන කතා කරමු කියලා. ඒ වෙලාවේ එයා ඇස් දෙක ලොකු කරගෙන මම දිහා බලා හිටියා. හැබැයි ඊට පස්සේ එයා මොකද කළේ. වේදිකාවට නැඟලා මම රණසිංහ ප්‍රේමදාසගේ පුතා කියලා කිව්වා. කයිය ගහන්න පටන් ගත්තා. මං ඊට පස්සේ පක්ෂ වැඩවලින් ඉවත් වුණා. ළඟදී දවසක සජිත් මහින්ද එක්ක සාකච්ඡා කරලා පොරොන්දු වෙලා තියෙනවා නාමල්ට විපක්ෂ නායකකම දෙන්න. ඊට පස්සේ අවුරුදු පහකට පස්සේ එයාට බලයට එන්න පුළුවන් කියලා.

එහෙම කියලා තමා සජිත් ප්‍රේමදාස ජනතාව ළඟට ඇවිල්ලා දණ ගහන්නේ, බබා වෙන්න හදන්නේ මම දුප්පතාගේ හිතවතා කියලා.”

අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT