Home » සිවිල් ආරක්‍ෂක ධජවලට සෙත් පැතීම ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී

සිවිල් ආරක්‍ෂක ධජවලට සෙත් පැතීම ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී

by sachintha
September 10, 2024 1:47 am 0 comment

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු දහඅට වන සංවත්සර සැමරුමට සමගාමීව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ධජයන් වෙත සෙත් පැතීම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ඊයේ (09) පෙරවරුවේ සිදු කෙරිණි.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථාන විහාරස්ථාන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. බියන්විල මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පුණ්‍ය කටයුත්ත සිදු කෙරිණි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සියලු ධජ රැගත් පෙරහර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා පහළ මළුවේ තෙවරක් පැදකුණු කිරීමෙන් අනතුරුව ධජ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස තැන්පත් කර ආශීර්වාද සිදු කරනු ලැබීය. පසුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් සියලු ධජ වෙත ආශීර්වාද ගැන්වීම කළහ.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ධජය, බළකා ධජ ඇතුළු සියලු ධජ වෙත හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි නියුතු, විශ්‍රාමික හා යුද්ධයේදී රණක්‍ෂිතයට පත් සාමාජික සාමාජිකාවන්ට සෙත්පතා මෙහිදී ආශීර්වාද කළ අතර, මාතෘ භුමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ සිවිල් ආරක්‍ෂක සාමාජික සාමජිකාවන් සිහිකර පුණ්‍යානුමෝදනාවක් සිදු කෙරිණ.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන, රුවන්මැලි මහා සෑ චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඥානතිලක, ලංකාරාමාධිපති රැළපනාවේ ධම්මජෝති, අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරයේ විහාරාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් මෙය සිදු කළහ. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ලිව්.ඩී.ඊ.එම්. සුදර්ශන මහතා, අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මූලස්ථාන අණදෙන නිලධාරි, සේවා වනිතා ඒකකයේ සභාපතිනී දිළිනි කෝදාගොඩ මහත්මිය ඇතුළු සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දිස්ත්‍රික් නිලධාරින් සහා සිවිල් ආරක්‍ෂක සාමාජික, සාමාජිකාවන් මේ අවස්ථාවට සහභාගි වූහ.

අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක

ඡායාරූප – අනුරාධපුර අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT